Colombo-National-Hospital-employee-accused-of-stealing-a-gold-necklace

කොළඹ ජාතික රෝහලේ පිරිසිදු කිරීමේ සේවිකාවක සතු පවුම් එකහමාරක රන් මාලයක් සොරකම් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටි තවත් සේවිකාවක් ඊයේ (12) දින මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප මත නිදහස් කෙරිණි.



මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මියගේ නියෝගය පරිදි කටුකැලියාව, ගල්කඩවල ප්‍රදේශයේ පදිංචි එල්. චන්දිමා කුමාරි නමැති එක්දරු මව මෙලෙස ඇප මත නිදහස් කරන ලදී.

මරදාන පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ කරුණු අනුව, පැමිණිලිකාරිය හා සැකකාරිය විවේකාගාරයේ සිටියදී පැමිණිලිකාරියගේ පසුම්බිය සහ රන් මාලය බිම වැටී තිබී ඇත. එවිට පැමිණිලිකාරිය සැකකාරියට එය කොළ කැබැල්ලක ඔතා තම අත්බෑගයට දමන ලෙස පවසා ඇත. අනතුරුව සැකකාරිය තම දරුවා අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසා නිවෙසට ගොස් ඇත. දින හතරකට පසු පැමිණිලිකාරිය තම බෑගය පරීක්ෂා කිරීමේදී රන් මාලය ඔතා තිබූ කොළයේ රුපියලේ කාසියක් පමණක් තිබී ඇත.

සැකකාරිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය පැවසූ අන්දමට, ඇය මෙම චෝදනාව සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරන අතර, දරුවාගේ අසනීප තත්ත්වය හේතුවෙන් අනුරාධපුරය බලා ගොස් සිටි බවත්, කිසිදු මාලයක් සොරකම් නොකළ බවත් අවධාරණය කර ඇත.

ඉදිරිපත් වූ සියලු කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාරිය ඇප මත මුදා හැරීමට තීරණය කරන ලදී.