නිවසට උගුඩුවන් පැමිණීම වැළැක්වීම සඳහා ඇටවූ විදුලි රැහැනට හසු වී 44 හැවිරිදි දෙදරු මවක මිය ගොස් ඇතැයි කහවත්ත පොලීසිය කියයි.මෙසේ මිය ගොස් ඇත්තේ කහවත්ත යටාගර වටාපොත පදිංචි සෙනරත් චන්ද්‍රලතා නැමති 44 හැවිරිදි දෙදරු මවකි.සිද්ධිය සම්බන්ධයෙන් මියගිය කාන්තාවගේ සැමියා වන පනස් හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය කියයි.




මියගිය කාන්තාව බිම ඇද වැටී සිටි බව පවසමින් කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පශ්චාත් මරණ පරීක්ෂණයට මොහොතකට පෙර සැමියා විසින් සිද්ධිය පිළිබදව පාපොච්චාරණයක් සිදු කළ බවද පොලීසිය පවසයි.සැකකරු නිවසේ තිබූ උගුඩුවන්ගේ හිරිහැරය නිසා සිද්ධියට පෙර දින රාත්‍රී විදුලි බල්බයක හෝල්ඩරයකින් විදුලිය ගෙන උගුඩුවන් පැමිණෙන මාර්ගයට දමා තිබූ අතර එය ක්‍රියාවිරහිත කිරීමට අමතක වී දළු නෙළීම සඳහා ගොස් ඇති බව පොලිසිය කළ පරික්ෂණ වලින් හෙළිවි ඇත.




බිරිය දිය නෑම සඳහා යන අවස්ථාවේ නිවස පිටුපස බිම වැටී තිබු කම්බිය පෑගී බිරිය කෑ ගසන හඬ ඇසී සැමියා පැමිණ සුවිචය ක්‍රියා විරහිත කර බලද්දී බිරිය කටින් සෙම දා ගෙන බිම වැටී සිටි නිසා රෝහල්ගත කිරිමට කටයුතු කර ඇත.රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් අදාළ කාන්තාව මියගොස් සිටි බව කහවත්ත රෝහල පවසයි.


සිද්ධියට සැකපිට මියගිය කාන්තාවගේ සැමියා කහවත්ත පොලීසිය විසින් පෙරේදා සවස අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කහවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුමිත්ත කරුණාරත්න මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර පරීක්ෂණ සිදුකෙරේ.
(තුෂාර හෙට්ටිආරච්චි)