Suspect-who-assaulted-in-front-of-magistrate-remanded

අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාග කරමින් සිටින අතරතුර අධිකරණ සිර මැදිරියේ රඳවා සිටි තවත් සැකකරුවකුට පහරදීමේ සිද්ධියකින් අනතුරුව පහර දුන් සැකකරු සහ පහර කෑ සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටට කැඳවීමෙන් අනතුරුව නැවතත් එම සැකකරුම අනෙක් සැකකරුට

මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු ජනවාරි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.




මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිරප්පනේ තිත්තිගම පදිංචිකරුවකු වන ආර්.එම්. චන්දන සිසිර කුමාර නමැත්තෙකි.මෙම සැකකරු අධිකරණ සිර මැදිරිය තුළ සිටියදී එම සිර මැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකුට පහරදීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරින් විසින් ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආවේ දෑත්වලට විලංගු (මාංචු) දමාය.


එලෙස මෙම සැකකරුගේ දෑත්වලට විලංගු දමා තිබියදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම පෙර පහර දුන් සැකකරුට නැවතත් පහරදීම අධිකරණයේ සිටි නීතිඥවරුන් අධිකරණ කාර්ය මණ්ඩලය බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් නිලධාරින් මවිතයට පත් කළේය.


මෙම සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් අනුරාධපුර අධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මහතාගේ උපදෙස් මත අධිකරණ පොලිස් නිලධාරින් සඳහන් කළේ වරෙන්තු මත තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු අදාළ නඩුව කැඳවන තුරු

අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි බවයි.


එසේ සිටින අතරතුර මෙම සැකකරු එම අධිකරණ සිර මැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකු සමග ගැටුමක් ඇති කරගෙන පසුව ඔහුට පහර දී ඇති බව ද පොලිසිය කීවේය.පසුව පහර දීම සිදු කළ මෙම සැකකරු සහ පහර කෑමට ලක් වූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී ඔහුගේ දෑත්වලට විලංගු දමා තිබියදීම පෙර පහර දුන් සැකකරුටම යළිත් පහර දුන් බවද අධිකරණයට ප්‍රකාශ කළ පොලිසිය මේ තුළින් මෙම සැකකරු අධිකරණ කටයුතුවලට බාධා කරමින් අධිකරණයට අපහාස කර ඇති බව ද සඳහන් කළේය.




සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ජී.එල්. ධර්මසිරි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයසිංහ, කාන්තා පොලිස් සැරයන් මැණිකේ රාමනායක සහ සැරයන් චන්දන යන මහත්ම මහත්මිහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු දැක්වූහ. සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.රිමාන්ඩ් භාරයට පත් කෙරුණු සැකකාර ආර්. එම්. චන්දන සිසිර කුමාර නැමැත්තාගෙන් පහර කෑමට ලක් වූ සැකකරුද අධිකරණ සිර මැදිරියේ කලහකාරී ලෙස හැසිරිමෙන් අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.
(උපාලි ආනන්ද )