Swine-fever-has-also-spread-to-wild-boars-in-Wilpattu

අප්‍රිකානු සූකර උණ විල්පත්තුවේ සැරිසරන වල් ඌරන්ට ආසාදනය වීමත් සමග වන උද්‍යානයට වල් ඌරු මාංශ පිටතින් රැගෙන යාම සම්පූර්ණයෙන් නවතා ඇති බව වනජීවි පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.





මේ වන විට දිවයින පුරා ඌරන් ඇති කරනු ලබන ගොවිපළවල පැතිර් යමින් ඇති සූකර උණ මෙලෙස විල්පත්තුවේ සැරිසරණ වල් ඌරන් අතර පැතිරෙමින් ඌරන් මරනයට පත්වීම් රැසක් වාර්තා වී ඇති බවද පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා වැඩි දුරටත් පවසයි.


විල්පත්තුවේ වල් ඌරන්ට සූකර උණ වැලඳී මරණයට පත්ව සිටියදී තලවිල,පල්ලේකන්ඩල් ප්‍රදේශ ආශ්‍රිතව හමුව තිබු අතර එහිදී මිය ගිය වල් ඌරන්ගේ මාංශ කොටස් රැගෙන සිදුකළ පරීක්ෂණවලදී සූකර උණ වැලඳී තිබූ බවට සැක හැර වාර්තා වූ බව වනජීවි පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂවරයා පැවසීය.අප්‍රිකානු සූකර උණ ලංකාවේ ඌරු ගොවිපළවල් ආශ්‍රිතව පැතිරී යාමෙන් මේ වනවිටත් දහස් ගණනක් ඌරන් මරණයට පත්ව ගොවිපළ හිමියන් දැඩි අසරණ කමකට ලක්වී තිබේ.


කෙසේ වෙතත් විල්පත්තුවේ වල් ඌරන්ට සූකර උණ ආසාදනය වීම කුමන ලෙස සිදුවූවා දැයි කළ විමසීමේදී පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂවරයා පවසා සිටියේ විල්පත්තුවට නේවාසිකව රැඳී සිටිමට පැමිණෙන සංචාරකයන් විසින් රැගෙන ආ ඌරු මස්වලින් ඉතිරි කොටස් පරිසරයට මුදා හැරීමෙන් මෙය

සිදුව ඇති බවට සැක කරන බවයි. ඔහු වැඩි දුරටත් ඔහු පැවසුවේ විල්පත්තුවේ වල් ඌරන්ට මෙලෙස සූකර උණ වැලඳී මරණයට පත්වූ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවත් එය විශාල සංඛ්‍යාවක් ලෙස වාර්තා නොවන්නේ මරණයට පත් වල් ඌරන්ගේ ශරීර වෙනත් මාංශ භක්ෂක සතුන්

ආහාරයට ගැනීම හේතුවෙන් බවට තහවුරු වන බවයි.


එය සිය ගණනක් හෝ එයට එහා ගිය සංඛ්‍යාවක් විය හැකි බවත්, මේ හේතුවෙන් විල්පත්තුව ඇතුළු වන උද්‍යානවල වල් ඌරන් වඳවී යාමට යම් බලපෑමක් සිදුව්ය හැකි බවත් හෙතෙම පැවසීය.කෙසේ වෙතත් ගොවිපළවල ඇති කරන වල් ඌරන්ට සූකර උණ පැතිරී යාමත් සමග සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් රට පුරා ආසාදිත හා අවදානම් කලාප නම් කිරීමට කටයුතු කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් 25 සිට ඉදිරියට මාස තුනක වලංගු කාලයක් සඳහා නම් කිරීමට කටයුතු කර ඇත.


කෙසේ නමුත් අප්‍රිකානු සූකර උණ මිනිසුන්ට වැලඳීම සිදු නොවුණද රෝගය පැතිරි ගිය ඌරන් මිය යාමෙන් පසු බැක්ටීරියා ආසාදනය වීම හේතුවෙන් මෙය යම් හානිදායක කරුණක් බවට පත්විය හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ ගැසට් නිවේදනය මගින් තහවුරු කර ඇත. මේ සියල්ල හමුවේ වන උද්‍යානවලට නැවත දැනුම් දෙන තුරු ඌරු මස් රැගෙන ඒම සංචාරකයන්ට තහනම් කර ඇති බව වනජීවි නිලධාහු පවසති.
( හිරාන් ප්‍රියංකර)