මවගේ පාදයේ ආබාධයකට රැගෙනවිත් තිබූ වේදනා නාශක දියරයක් පානය කළ බව කියන කුඩා දරුවකු එයින් ඇති වූ අධික විෂ හේතුවෙන් හලාවත මහ රෝහලින් කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට රැගෙන යමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු දෙකයි මාස හතක් වූ, එස්.ඒ. විනුක මන්දිත් නමැති දරුවෙකි.
දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක ඔහු බාල දරුවාය. ඥාති නිවෙසකට යෑම සඳහා මවුපියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී, උස් ස්ථානයක තබා තිබූ මවගේ පාදයේ ගෑමට ගෙන ආ වේදනා නාශක දියරයක් කුඩා දරුවා රැගෙන, එහි මූඩිය ඉවත් කරමින් සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව කියයි.
මවුපියන් පුතු පරික්ෂා කිරීමේදී, වේදනා නාශක දියරය පෙවී ඇතැයි පෙනී ගොස් නැති අතර, පාලවිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකුට දරුවා පෙන්වා ඇත. එහිදී ද වෛද්‍යවරයා පවසා ඇත්තේ, අදාළ වේදනා නාශක දියරය දරුවාට පෙවී නොමැති බවට පෙනී යන බවයි.
එසේ වුව ද, දරුවා යම් හෙයකින් ආසාත්මිකතාවකට පත් වුවහොත් කඩිනමින් රෝහල්ගත කරන ලෙස වෛද්‍යවරයා ඔවුන්ට දැනුම් දී ඇත.මවුපියන් දරවා රැගෙන මාදම්පේ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම ආසන්නයේදී දරුවා එකවර ගැහෙමින් යම් රෝගී තත්වයක් මතු කිරීමත් සමග මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.
මුන්දලම රෝහලින් දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන්, කඩිනමින් ගිලන් රථයකින් හලාවත මහ රෝහලට දරුවා මාරු කර යැවූ අතර, හලාවත මහ රෝහලේදී ද දරුවාගේ අවදානම් තත්වය පරීක්ෂා කර වෛද්‍ය කාර්යමණ්ඩලයක් සමග කඩිනමින් ගිලන් රථයකින් කොළඹ රිජ්ගේ ආර්යා ළමා රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත. රෝහලට ආසන්න වෙත්ම දරුවා ගිලන් රථයේදීම අවසන් හුස්ම හෙළා ඇති බව කියයි.
දරුවාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය හා විෂවේද වෛද්‍ය ආයතනයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජානක පොලොන්වෙල මහතා සිදු කළ අතර, එහිදී නිගමනය කර ඇත්තේ, වේදනා නාශකයක් ශරීරගත වීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවය.මරණ පරීක්ෂණයෙන් පසු දරුවාගේ සිරුර මවුපියන්ට භාර දී ඇත.
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
0 Comments