මේ වන විට ඉදිකිරීම් කටයුතු තාවකාලිකව අතහැර දමා ඇති කොළඹ කොටුවේ පිහිටි මහල් 60කින් යුත් '' ද වන් ට්රාන්ස් ඔර්ක්ස් (ක්රිස්) ගොඩනැගිල්ලේ අනතුරුදායක කොටස් සති දෙකක කාලයක් ඇතුළත ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස කොටුව මහෙස්ත්රාත් තනුජා ලක්මාලි මහත්මිය ක්රිස් ලංකා සමාගමේ අධ්යක්ෂ මණ්ඩලයට ඊයේ (06දා) නියෝග කළාය.
මහජනතාවට හානියක් වන අයුරින් කඩා වැටීමට ලක්වීමට ඉඩ ඇති එකී අනතුරුදායක කොටස් ඉවත් කිරීමේදී
රාජ්ය ඉංජිනේරු සංස්ථාවේ මැදිහත් වීම හා අධීක්ෂණය ලබාග ගැනීමට පියවර ගන්නා ලෙසට ද මහෙස්ත්රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.
ක්රිස් ගොඩනැගිල්ලේ සවිකර තිබූ යකඩ බටයක් පසුගිය ඔක්තෝබර් 6 වැනිදා ඒ ආසන්නයේ නවතා තිබූ මෝටර් රථයක් මතට කඩා වැටී ඇති බවත්, පසුගිය 8 වැනිදා රාත්රියේ ද තවත් යකඩ කොටසක් හිල්ටන් හෝටල් පරිශ්රයට කඩා වැටී ඇති බවත් පෙන්වා දෙමින් කොටුව පොලිසිය ගොනුකර තිබූ වාර්තාවක් සලකා බැලූ මහෙස්ත්රාත්වරිය එකී නියෝගය කළාය. එකී ගොඩනැගිල්ල අනාරක්ෂිත බවද සඳහන් කරමින් ගොනුකර තිබූ එම වාර්තාව අනුව ගොඩනැගිල්ලේ හිමිකාරිත්වය දරන සමාගම් නිලධාරීන් අධිකරණයට කැඳවීමට ද මහෙස්ත්රාත්වරිය නියෝග කර තිබිණි. එකී නියෝගය අනුව එම සමාගමේ පරිපාලන නිලධාරිනියක සහ නීතිඥ හෂිනි ඈපා මහත්මිය ප්රමුඛ නීතිඥ මණ්ඩලයක් ඊයේ (06දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එකී අනතුරුදායක කොටස් ඉවත් කිරීමට අවම වශයෙන් මාස දෙකක පමණ කාලයක් ගතවිය හැකි යැයි එකී සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට පැවසූහ. එවැනි කාලයක් ලබාදීමෙන් ඉදිරියේ දී ඉතා බරපතළ මහජන හානි සිදුවිය හැකි බව කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ලක්මාල් විජේරත්න මහතා අධිකරණයට පැවසීය. මහජන ආරක්ෂාවට ගත හැකි උපරිම පියවර ගෙන ඇතැයි එම සමාගමේ නීතිඥවරු අධිකරණයට පැවසූහ.
(ඒ. ජේ. ඒ. අබේනායක)
0 Comments