ජාතික විගණන කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව, විදේශගත ශ්‍රමිකයන් සඳහා ලබා දුන් විද්‍යුත් වාහන ආනයන බලපත්‍ර සියල්ල අවලංගු කර, ඒ බව අදාළ පාර්ශ්වයන්ට දැනුම් දෙන ලෙස නිර්දේශ කර තිබේ.
අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලත් කමිටු වාර්තාවේ මූලික ප්‍රතිපත්තිමය කරුණු හතරක් උල්ලංඝනය කරමින් විද්‍යුත් වාහන ආනයන චක්‍රලේඛය නිකුත් කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු බලධාරීන්ට එරෙහිව විනයානුකූල පියවර ගැනීමට ද නිර්දේශ කර ඇත.
මෙම යෝජනා ක්‍රමය යටතේ ආනයනය කරන ලද වාහන 510ක් සඳහා සුඛෝපභෝගී බදු නිදහස් සීමාව රුපියල් ලක්ෂ 60 සිට රුපියල් ලක්ෂ 120 දක්වා වැඩි කිරීම හේතුවෙන් රජයට රුපියල් මිලියන 1,380කට අධික පාඩුවක් සිදුව ඇති බව වාර්තාව පෙන්වා දෙයි. තවද, වෙනත් පාර්ශ්වයන්ට පවරා තිබූ වාහන හයක් වෙනුවෙන් රුපියල් මිලියන 1,280ක බදු මුදලක් ගෙවා නොමැති බවද සඳහන් වේ.
විගණන කාර්යාලය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමේදී විනිවිදභාවය ආරක්ෂා කර නොමැති අතර,
පාලන ක්‍රමවේද බරපතල ලෙස නොසලකා හැරීම නිසා යෝජනා ක්‍රමය අවභාවිතයට ලක්ව ඇති බවයි.
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ වාර්තා අනුව, 2020 සැප්තැම්බර් 22 සිට 2023 ජූනි 30 දක්වා කාලය තුළ විදේශගත ශ්‍රමිකයන් සඳහා වාහන බලපත්‍ර 1,077ක් නිකුත් කර ඇති අතර, ඉන් බලපත්‍ර 77ක් අවලංගු කර තිබේ. එමෙන්ම, බලපත්‍ර නිකුත් කිරීමට අදාළ ලිපිගොනු 64ක් විගණනය සඳහා ඉදිරිපත් කිරීමට අමාත්‍යාංශ ලේකම්වරයා අපොහොසත් වී ඇති බවද වාර්තාවෙන් හෙළි වේ.
මෙම තොරතුරු අන්තර්ගත වන්නේ විදේශ ප්‍රේෂණ මත පදනම්ව විදේශයන්හි රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන් වෙත පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීම පිළිබඳ විශේෂ විගණන වාර්තාවේය.
0 Comments