ජනාධිපති ලේකම් කාර්යාලයේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති කාර්යාල 38ක් විවිධ අමාත්‍යාංශවලට පවරා දීමට තීරණය කර ඇත. මෙම තීරණයත් සමඟ එහි සේවය කළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරී සංචිතයට අනුයුක්ත කිරීමට ද කටයුතු කර තිබේ.
ස්ථාන මාරු කිරීම්වලට ලක්වූ නිලධාරීන් අතර ව්‍යාපෘති කාර්යාල 38හි අධ්යක්ෂ ජනරාල්වරුන් ද සිටින බව වාර්තා වේ. මෙම නිලධාරීන් නව පත්වීම් ලැබෙන තෙක් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ නිලධාරී සංචිතයේ රැඳී සිටිනු ඇත.
ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සේවක අතිරික්තය හා වියදම් අවම කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති බව රජයේ ඉහළ නිලධාරියෙක් පැවසීය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ඇතැම් වෘත්තීය සමිති කාර්යාල පවා ජනාධිපති ලේකම් කාර්යාලයේ පිහිටා තිබූ බවයි.
ස්ථාන මාරු ලැබූ නිලධාරීන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, වෙළෙඳ පහසුකම් සහ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතුළු විවිධ විෂය ක්ෂේත්රයන්හි සම්බන්ධීකරණ කටයුතු සිදු කර ඇත. මෙම නිලධාරීන්ට තම රාජකාරී ලිපිගොනු අදාළ අමාත්‍යාංශවලට භාර දීමට උපදෙස් දී තිබේ.
ව්‍යාපෘති කාර්යාල අදාළ අමාත්‍යාංශවලට පැවරෙන බැවින් මෙම නිලධාරීන් ජනාධිපති ලේකම් කාර්යාලයේ තවදුරටත් රඳවා තබා ගැනීමට සාධාරණ හේතුවක් නොමැති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
0 Comments