Electricity-cuts-have-increased-due-to-non-payment-of-bills

රටේ විදුලිය විසන්ධි  කිරීම් ඉතා බරපතළ ආකාරයට සිදුව ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි. 2024 වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් ශීඝ්‍රයෙන් වැඩි වී ඇති බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පැවැසීය.



ලංකා විදුලි බල  මණ්ඩලයේ දත්ත අනුව කරුණු පැහැදිලි කරන සංජීව ධම්මික මහතා කියා සිටින්නේ 2023 වසරේ කලට වෙලාවට මුදල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කිරීම් 970,933 සිදුව ඇති බවය.

මේ වසරේ ජනවාරි සිට ජුනි මාසය දක්වා විදුලිය විසන්ධි කිරීම් 628,286ක් සිදුකර ඇති අතර නිවාස 505,949 කර්මාන්තශාලා 8,579ද ආගමික ස්ථාන 2,090ද හෝටල් නිකේතන 39ද රාජ්‍ය අංශයේ ආයතන 359ද කඩ සාප්පු හා වෙනත් 111,276ද ඒ අතර වන බවද ඔහු කියා සිටියේය.

ඒ අනුව ගිය වසරේ එක් දිනකට විදුලිය විසන්ධි කිරීම් 2,660 වූ අතර මේ වසරේ එක් දිනකට විදුලිය විසන්ධි වීමේ සාමාන්‍ය අගය 3,443 බව ඔහු සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටින්නේ විදුලිබල මණ්ඩලයේ දත්තවල සාවද්‍ය භාවය හමුවේ වැඩි වූ විදුලි බිල නිසා පසුගිය මාසවල බිල්පත් දිගින් දිගට එකතු වීම හමුවේ අසරණ වූ ජනතාවට

මේ වසරේ මේ තත්ත්වය හටගෙන ඇති බවය.

විදුලි පනත උල්ලංඝනය කරමින් අධික ලාභ ලැබූ විදුලිබල මණ්ඩලයට මෙම බිල්පත් ගෙවීමට පාරිභෝගිකයන්ට කනකර උකස් කරන්නට පවා සිදු වු බවද ඒ මහතා පැවැසීය.

අවසානයේදී උකස් කළ රන් භාණ්ඩවලට පොලී ගෙවන්නත් වුණා. තම ගෙවත්තේ ඇති ගහකොළ පවා විකුණා මෙම බිල්පත් ගෙවීමට විදුලි භාරිභෝගික ජනතාවට සිදුවිය. ඒ නිසා ඉතා අසරණ තත්ත්වයට පත්වූ බවද විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නිමල් අල්ගෙවත්ත