අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සාධාරණ විමර්ශනයක් සිදු නොකෙරෙන බවත් මෙම වෙඩි තැබීමට යොදාගත් බවට සැක කෙරෙන පිස්තෝලය සම්බන්ධයෙන් රජයේ රස පරීක්ෂවරයා විසින් නිකුත් කර ඇති රස පරීක්ෂක වාර්තාව සහ නඩු භාණ්ඩ භාරදුන් බව තහවුරු කෙරෙන සන්දේශය සඟවා හෝ අස්ථානගත කර ඇති බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා විවෘත අධිකරණයේදී පැවැසීය.
ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මේ බව කියා සිටියේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී.එච්. ඩබ්.ඩී.එල්. සමරසිංහ මහත්මිය ඉදිරියේ යළි කැඳවූ අවස්ථාවේදීය. මෙම නඩුවේ සැකකාර අනුරාධපුර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාද මෙදින විවෘත අධිකරණයේ පෙනී සිටි අතර ඔහු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා තවදුරටත් කියා සිටියේ උද්දික ප්‍රේමරත්න හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් සාධාරණ වූත් ස්වාධීන වූත් විමර්ශනයක් සිදු නොකෙරෙන බවයි.
මෙය බරපතළ තත්ත්වයක් බවද අධිකරණයට අවධාරණය කළ නීතිඥවරයා එකී විමර්ශන සාධාරණව සිදු නොවීම සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිර්මට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අධිකරණයේ අවසරය ලබාදෙන ලෙස ඉල්ලා සිටින බවද පවසා සිටියේය. එලෙස අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අධිකරණයේ අවසරය ලබා නොදෙන්නේ නම් විමර්ශන සාධාරණව, අපක්ෂපාතීව පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසද නීතිඥවරයා කුමක්ද යන්න එකිනෙක ප්‍රකාශ කිරීමට හැකිද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙම වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ විමර්ශනයක් සිදුනොවන බව පවසමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා කළ කරුණු දැක්වීම්වලට ප්‍රතිචාර දක්මින් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී. එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය විමසා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන පරීක්ෂණ තවමත් විමර්ශන මට්ටමේ පවතිද්දී විමර්ශන සාධාරණව සිදුනොවන බව පවසන්නේ කෙසේද? යන්නයි.
එමෙන්ම වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රස පරීක්ෂක වාර්තා සහ සන්දේශය නොලැබී තිබෙන පසුබිමක විමර්ශන සාධාරණව පවත්වන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග ලබා දෙන්නේ කෙසේදැයි යන්නද අතිරේක මහෙස්ත්‍රාත්වරිය විමසා සිටියාය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතාගෙන් ඉල්ලා සිටියේ සාධාරණ විමර්ශනයක් සිදු නොවන්නේ නම් ඒවා කුමක්ද යන්න එකිනෙක ප්‍රකාශ කිරීමට හැකිද යන්නයි. විමර්ශනවලදී
කිසිදු අසාධාරණයක් සිදුව නැති බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාහු පැවැසූහ. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රාත් පී.එච්. ඩබ්. ඩී. එල්. සමරසිංහ මහත්මිය ප්‍රකාශ කළේ මෙම නඩුවේ මීළඟ කැඳවීම් දිනය 2025 වසරේ පෙබරවාරි මස 24 වැනි දින බවයි.
සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතාට අධිකරණය හමුවේ ප්‍රකාශයක් ලබාදීමට අවසර ලබා දෙන්නැයි ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා කළ ඉල්ලීම එදිනට සලකා බැලිය හැකි බවත් මේ අවස්ථාවේ ප්‍රකාශයක් කිරීමට අවසර ලබාදිය නොහැකි බවත් තමාගේ මෙම නියෝගයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් අභියාචන කිරීමේ බලය ඇති බවත් අතිරේක මහෙස්ත්‍රාත්වරිය පැවැසුවාය.
සැකකාර හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම මහතා වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ උපාලි ජයමාන්න මහතා මීට පෙර සිය මූලික කරුණු දැක්වීම්වලදී ප්‍රකාශ කළේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්නගේ මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධියට හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාම සම්බන්ධ බවට කිසිදු විමර්ශනයකදී කරුණු අනාවරණ වී නොමැති පසුබිමක වෙඩි තැබීමේ සිද්ධියට ඔහු සැකකරුවකු ලෙස නම් කළේ කෙසේද? යන්නයි.
මෙම වෙඩි තැබීම තුළින් තමා ඝාතනය කිරීමට උත්සාහ කළ බවට සහ තම මෝටර් රථයට හානි සිදුවූ බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ස්වකීය පැමිණිල්ල මඟින් ප්‍රකාශ කොට නැති බවපැවැසූ නීතිඥවරයා එවැනි පසුබිමක තම සේවාදායකයාට එරෙහිව මිනීමැරුම් සහ අනර්ථය සිදු කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනා එල්ල කරන්නේ කුමන පදනමක් මතද? යන්න විමසා සිටින බවත් සිය සේවාදායකයාගේ රාජකාරි (හිටපු සහකාර පොලිස් අධිකාරි සංජීව මහනාමගේ) පිස්තෝලයෙන් වෙඩි උණ්ඩ පිටවී නැති බවට රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර ඇති බවත් කියා සිටියේය.
උපාලි ආනන්ද
0 Comments