එල්ටීටීඊ මහවිරු සමරුව සැමරූ සහ සංවිධානය කළ පුද්ගලයන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා රහස් පොලිසියට ඊයේ (05) නියෝග කළේය.
මහවිරු සමරුව සම්බන්ධයෙන් අසත්‍ය වැකි සහිත වීඩියෝ දර්ශන සහ එල්ටීටීඊ සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්රභාකරන්ගේ ඡායාරූප ද සහිතව සමාජ මාධ්‍යයේ පළකළේ යැයි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම් රේණුක පෙරේරා සැකකරු රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් මත මුදාහැරීමට නියෝග කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ පැවැසීය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යම් විමර්ශනයක් කිරීමේදී අවම සදාචාරය හෝ රැකගත යුතු බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා පණිවිඩය දෙස නොබලා පණිවිඩකරුට එරෙහිව කටයුතු කිරීම පිළිබඳව ප්‍රායෝගිකව සිතා බලන ලෙස ද අවධාරණය කළේය.
සැබැවින්ම උතුරේ මහ විරු සමරුවක් පවත්වා නැත්නම් හෝ අසත්‍ය ප්රවෘත්ති පළ කර ඇත්නම් ඒ පිළිබඳව යම් නියෝගයක් නිකුත් කළ හැකි බව පෙන්වා දුන් අතිරේක මහේස්ත්‍රාත්වරයා කළ යුතුව ඇත්තේ එසේ මහවිරු සමරුවක් පවත්වා ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු, ඒවා පළ කරන පුද්ගලයන්ගෙන් ලබාගෙන විමර්ශනයක් කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නොවේදැයි රහස් පොලිසියෙන් ප්‍රශ්න කළේය.
එල්ටීටීඊ සංවිධානයේ මහා විරු සමරුව පිළිබඳව අන්තර්ජාලයේ මුලින් තොරතුරු පළ කර ඇතැයි කියන ඕස්ට්‍රේලියාව තුළ තහනම් සංවිධානයක් ලෙසදැයි මහේස්ත්‍රාත්වරයා ප්‍රශ්න කළේය. ඊට පිළිතුරු දුන් රහස් පොලිසිය කියා සිටියේ මෙම සැකකරු තොරතුරු ලබාගෙන ඇති ඕස්ට්‍රේලියාව තුළ මෙම සංවිධානය තහනම් සංවිධානයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති බවය.මෙම පැමිණිල්ල ඊයේ පස්වරුවේ කැඳවූ අවස්ථාවේදී රහස් පොලිසියේ පරිගණක අපරාධ විමර්ශන අංශය මගින් රේණුක පෙරේරා මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් මෙසේ පැවැසීය.
සැකකරු ඔහුගේ නමින් පවත්වාගෙන යන මුහුණු පොත ඔස්සේ තහනම් සංවිධානයක් වන එල්ටීටීඊ මහවිරු සැමරුමක් පැවැත්වූ බවට අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවට පැමිණිල්ලක් ලැබුණා. ඒ සම්බන්ධයෙන් සිදු කළ විමර්ශන අනුව එම ෆේස්බුක් ගිණුමේ වීඩියෝ දර්ශන තුනක් ඡායාරූප හා තවත් වැකි ප්‍රකාශ කර ඇති බවට අනාවරණය වෙනවා. පුද්ගලයන් ලක්ෂයකට අධික පිරිසක් මෙම මුහුණු පොත නරඹා තිබෙනවා.
සැකකරු වෙනත් විදේශීය කාන්තාවකගේ ගිණුමකින් බාගත කර ගන්නා ලද වීඩියෝ හා ඡායාරූප මීට ඇතුළත් කර තිබෙන බව විමර්ශනවලදී අනාවරණය වෙනවා.මහජන සාමය කඩවන හා ජාතීන් අතර සංහිඳියාවට බාධා එල්ල විය හැකි තොරතුරු සමාජ ජාලයේ පැතිරවීම යන මෙම ක්‍රියාදාමය තුළින් සැකකරු දණ්ඩ නීති සංග්‍රහයේ 120 වගන්තිය යටතේ වරදක් සිදු කර ඇති හෙයින් තවදුරටත් විමර්ශන සිදු කරනවා. විමර්ශන අවසන් නොමැති බැවින් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටිනවා යැයි ද පැවැසීය. ද එහි දී රහස් පොලිසිය ඇමැතූ මහේස්ත්‍රාත්වරයා මෙම වීඩියෝ දර්ශන සැකකරුට ලැබී ඇත්තේ කෙසේදැයි විමසීය.
එම දර්ශන විදේශීය රටක කාන්තාවකගේ ගිණුමකින් බාගත කරගෙන ඇති බව පොලිසිය පැවැසීය.එහිදී රහස් පොලිසියට ප්‍රශ්න කීපයක් යොමු කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා පසුගිය දිනවල ශ්‍රී ලංකාව තුළ ඇත්තටම මහවිරු සමරුවක් පවත්වා ඇත්ද? එසේ පවත්වා ඇත්නම් ඒක වරදක්ද? ඒක වරදක් නම් එම අය අත්අඩංගුවට ගැනීම රහස් පොලිසියේ කටයුත්තක් නොවේදැයි විමසීය.රහස් පොලිසිය ඊට කරුණු දක්වමින් අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් විමර්ශන කරන බව පැවැසීය.
එහිදී තවදුරටත් කරුණු දැක්වූ අතිරේක මහේස්ත්‍රාත්වරයා තහනම් උත්සවයක් පවත්වා ඇත්නම් එම උත්සව පිළිබඳව ජනතාව දැනුවත් කරන පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගෙන එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීම කළ යුතු බව පෙන්වා දුන්නේය.
“සැකකරු ව්‍යාජ තොරතුරු පළ කරලා තියෙනවා නම් ඒ සම්බන්ධයෙන් නියෝග නිකුත් කළ හැකියි. එහෙත් දැනුවත් කිරීම වරදක්ද?” මහේස්ත්‍රාත්වරයා මෙහිදී ප්‍රශ්න කළේය.සැකකරු වෙනුවෙන් නීතිඥ මනෝජ් ගමගේ මහතා අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවැසීය.
ඔහු විරු සමරුව සම්බන්ධයෙන් ඊයේ (04) දින ආරක්ෂක ඇමැතිවරයා පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කර තිබෙනවා. සැමරුම් උත්සව 244 ක් උතුරේ පවත්වා ඇති බවත් එම උත්සව අතරින් උත්සව දහයක මහ විරු සමරුව එල්.ටී.ටී.ඊ නායකයාගේ රුව රහිතව ප්‍රචාරය කරලා තිබෙන බව පාර්ලිමේන්තුවේදී සඳහන් කර තියෙනවා. එසේ සැමරුවා යැයි කියන උත්සවය අප විසින් හෙළා දැක තිබෙනවා, සැමරුම් උත්සව ප්‍රවර්ධනය කිරීමක් සැකකරු විසින් සිදු කර නැහැ. එල්ටීට් නායකයත් එක්ක පින්තූර ගත්ත දේශපාලන නායකයන් අත්අඩංගුවට ගන්න නීති ක්‍රියාත්මක වූ බවක් පෙනෙන්නේ නෑ.
එම අවස්ථාවේදී රහස් පොලිසිය ඇමතු අතිරේක මහේස්ත්‍රාත්වරයා මෙසේ ද සඳහන් කළේය. “එල්.ටී.ටී.ඊ. තහනම් සංවිධානයක්. ඒතේ නියෝජිතයෙක් ඇවිල්ලා පිටකොටුවේ අපරාධයක් කළොත්, ඒක වටේ ඉක්ක සියලු දෙනා වීඩියෝ කර අපරාධය පිළිබඳව වාර්තා කරයි. එවිට රහස් පොලිසියේ අත්අඩංගුවට ගන්නේ වාර්තා කරන අයද? අපරාධය කරන පුද්ගලයද? ප්‍රායෝගිකව හිතුවොක් කොයිකද කරන්න ඕනෑ? කල්පනා කරලා විර්ශන කරන්න, විමර්ශනයක් කරන කොට පොලිස් නිලධාරින් හැරියට අවම සදාචාරයවත් රැකගන්න ඕනෑ."
ජෙජ්යෙෂ්ඨ නීතිඥ ඇන්ටත් සේනානායක මහතා ද සැකකරු වෙනුවෙන් කරුණු ඉදිරිපත් කරමින් සුදුසු ඇපයක් මත මුදාහරින ලෙස ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වයේ කරුණු සලතා බැලූ මහේස්ත්රාස්වරයා විනාඩ් තීර්ථයකට පමණ පසුව සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් මඟ විරු සමරුව පැවැත් වූ පුද්ගලයන් පිළිබඳ විමර්ශනයක් පවත්වා සැකකරුවන් වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට නියෝග කළේය. සැකකරුට රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් නියම කළ අතර විමර්ශන ප්‍රගතිය ජුනි 05 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.
( රෝෂන් තුෂාර)
0 Comments