උපකාරක පන්තියකට යමින් සිටි එකොළොස් හැවිරිදි ළමයකු බලහත්කාරයෙන් ත්‍රීරෝදරථයකට නංවාගෙන පැහැරගෙන යාමක් සම්බන්ධයෙන් පෙරේදා (01) පැමිණිල්ලක් ලැබී ඇතැයි හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.පිටිපන දකුණ ප්‍රදේශයේ පදිංචි මෙම පිරිමි දරුවා උපකාරක පන්තියකට යාම සඳහා සිය මිත්තණියද සමග පිටිපන දෙල්ගහකන්ද හන්දියට පැමිණ ඇති අතර, දරුවා පිටත් කර හැර මිත්තණිය නිවසට ගොස් ඇත.




පන්තියට යාම සඳහා දරුවා මීටර් 100ක පමණ දුරක් ඉදිරියට යද්දි මාර්ගය අසල නවතා තිබුණු ත්‍රීරෝද රථයක සිටි අයකු එක්වරම දරුවාගේ මුහුණ වසා ත්‍රීරෝද රථයට නංවාගෙන පැහැරගෙන ගොස් ඇති බවත් දරුවා කිලෝමීටර් දහයක් පමණ දුරට රැගෙන ගොස් හෝමාගම අතුරුගිරිය මාර්ගයේ පාළු ස්ථානයක අතහැර දමා ගොස් ඇති බවත් පොලිසිය කියයි.


මේ සම්බන්ධයෙන් දරුවා සිය මවුපියන් දැනුවත් කිරීමෙන් අනතුරුව පැමිණිලි කර ඇති බවත්, දරුවාට කිසිදු කරදරයක් සිදු කර නැති බවත් කියන පොලිසිය ත්‍රීරෝද රථයේ දෙදෙනකු සිට ඇති අතර දරුවා පැහැර ගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නැති බවත් පවසයි.

හෝමාගම මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කාරියවසම් මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වේ.
( ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)