කැනඩාවේ ටොරොන්ටෝ නුවරදී එරට පොලීසිය අත්අඩංගුවට ගත් යාපනය කේන්ද්‍ර කරගත් ආවා යතුරුපැදි කල්ලියේ නායකයා බවට සැක කරන ප්‍රසන්නා නල්ලලිංගම් නමැත්තා ඝාතන චෝදනා නඩුවක් සඳහා ප්‍රංශයට පිටුවහල් කිරීමට නියමිතව ඇතැයි කැනඩාවේ මාධ්‍ය වාර්තා කර තිබේ.
ප්‍රංශයේදී අබිරාමන් බාලක්‍රිෂ්ණන් නමැති පුද්ගලයකු 2022 වසරේ දී ඝාතනය කළ බව කියන කල්ලියකට මෙම පුද්ගලයා සම්බන්ධ බවට චෝදනා එල්ල වී ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඒ හැරුණුකොට තවත් පුද්ගලයකු ඝාතනයකට උත්සාහ දැරීමේ චෝදනාවක් ද ඔහුට එල්ල වී ඇතැයි කැනඩාවේ අධිකරණ දෙපාර්තමේන්තුව තහවුරු කර තිබේ.
32 හැවිරිදි මේ සැකකරු “අජන්තන් සුබ්‍රමනියම්” නමින් ද පෙනී සිටින බවත්, ඔහු ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ ක්‍රියාත්මක වන “ආවා” නමින් හඳුන්වන නීතිවිරෝධී යතුරුපැදි කල්ලියේ නායකයා බවට සැක කරන බවත් කැනඩාවේ මාධ්‍ය සඳහන් කළේය. මොහුව කැනඩා පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මාස කිහිපයකට පෙරය.
උතුරු පැරීසියේ ලා කූර්නිව් නමැති ප්‍රදේශයේ පාලනය සියතට ගැනීම සඳහා එම ප්‍රදේශයේ ක්‍රියාත්මක වන එල්සී බෝයිස් නමැති තවත් කල්ලියක්
සහ ආවා කල්ලිය අතර වසර ගණනාවක සිට ගැටුම් සිදුවූ බව ද කැනඩාවේ මාධ්‍ය වාර්තා කළේය.
වසර 2022 සැප්තැම්බර් මාසයේ දී නල්ලලිංගම් සහ ඔහුගේ සහචරයන් පස් දෙනකු මුහුණු ආවරණ කරමින් පිහි, මන්නා සහ කඩුවලින් පුද්ගලයන් දෙදෙනකුට ප්‍රහාර එල්ල කළ බවට වාර්තා වන අතර, බරපතළ තුවාල ලැබූ බාලක්‍රිෂ්ණන් ජීවිතක්ෂයට පත්වූ බවත්, තුවාල ලැබූ සෙසු පුද්ගලයා දිවි බේරාගත් බවත් ප්‍රංශයේ අධිකරණ වාර්තාවක සඳහන් වන බව කැනඩාවේ මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඒ වනවිට නල්ලිංගම් 2021 මාර්තුවේ දී සිවකුමාරන් ජීවරත්න ඝාතනය කිරීමේ චෝදනාවට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය පුද්ගලයකුව සිටි බවත්, ඔහු රටින් පලා යෑමෙන් පසු ඉන්ටර්පෝල් ජාත්‍යන්තර වරෙන්තුවක් ද නිකුත් කර තිබූ බවත් කැනඩාවේ මාධ්‍ය වාර්තා කළේය.
ඔහු කැනඩාවට පැමිණ ඇත්තේ අමෙරිකාව හරහා බවට අධිකරණ වාර්තාවල සඳහන් වුවද,
අමෙරිකාවට ඇතුළුවීම සම්බන්ධව පැහැදිලි තොරතුරු වාර්තා නොවන බව ද කැනඩාවේ මාධ්‍ය සඳහන් කළේය. ප්‍රංශ පොලීසිය, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා ඉන්ටර්පෝල් පොලීසිය සමඟ වරෙන්තුවක් නිකුත් කිරීමට පියවර ගෙන ඇත්තේ සංවිධානාත්මක අපරාධ කල්ලියක් විසින් ප්‍රංශයේ දී සිදු කළ පුද්ගල ඝාතනය සහ තවත් පුද්ගලයකු ඝාතනය කිරීමට තැත් කිරීමේ චෝදනාවට නල්ලලිංගම් ප්‍රබල සැකකරුවකු වීම සහ ශ්‍රී ලංකාවේ දී ඝාතන චෝදනාවකට හසුවීම ඇතුළු කරුණු ගණනාවක් මුල් කරමින් බව වාර්තා වේ.
0 Comments