අධිකරණ විනිසුරුවන්ගේ හා ආගමන විගමන පාලකවරයාගේ රැකවරණය තමන්ට ඇති හෙයින් කිසිදු ප්‍රශ්නයක් නොවන බවට දුරකතන මාර්ගය ඔස්සේ පවසා නැන්පත්කරුවන් මුළාවට ලක් කර මුදල් වංචා කළ බව කියන කුරුණෑගල “ජෙනිසීස් බිස්නස් ස්කූල්" පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ සැකකාර අධ්‍යක්ෂවරියගේ කටහඬ ඇතුළත් හඬ පටයක් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර පූර්ණ වාර්තාවක් කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා රහස් පොලිසියට ඊයේ (05) නියෝග කළේය.
පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේයැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින "ජෙනිසීස් බිස්නස් ස්කූල් ආයතනයේ අධ්යක්ෂ සමුද්‍රා සුරංගි සැකකාරියගේ හඬ පටයක් මෙසේ රස පරික්ෂකවරයාට යොමු කෙරිණ. මූල්‍ය ආයතනය පිළිබඳ රහස් පොලිසිය මගින් විමර්ශන ආරම්භ කිරීමෙන් පසුව විදේශයකට ගොස් සිටි සැකකාරිය රහස් පොලිස් අත්අඩංගුවට පත්වීමට පෙර විදේශීය රටක සිටියදී මෙසේ ආගමන විගමන නිලධාරීන්ගේ රැකවරණය තමන්ට ඇති බවට අඟවන ව්‍යාජ තොරතුරු ප්‍රකාශයට පත් කරමින් තැන්පත්කරුවන් තවදුරටත් මුළාවට පත් කර ඇති බව රහස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කිරිමෙන් පසුව මෙසේ නියෝග කෙරිණි.
සැකකාරිය නමින් මහනුවර නගරයේ ඇති පර්චස් 30ක ඉඩමක් අන්සතු කිරිම හෝ පැවරීම වළක්වමින් තහනමක් මහනුවර ඉඩම් රෙජිස්ට්රාර්වරයාට නිකුත් කිරිමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.සැකකාරියගේ නමින් මෙරට බැංකු හතරක පවතින ගිණුම් හතරක විස්තර වාර්තා කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරුන් වන ධම්මික රණසිංහ සහ ඔහුගේ බිරිඳ යැයි කියන සමුද්‍රා සුරංගි නමැති සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් සැරයන් සෙනෙවිරත්න මහතා හා පොලිස් සැරයන් විජිත මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් සැකකරුවන් එරා මිරකල් නමැති මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වංචා කළ සම්පූර්ණ මුදලින් රුපියල් කෝටි 254 ක් වංචා කර ඇති බවට මෙතෙක් කළ විමර්ශනවලින් සාක්ෂි අනාවරණය වී ඇතැයි සඳහන් කළේය.දැනට පුද්ගලයන් එකසිය හැත්තෑ අට දෙනකුගෙන් පැමිණිල්ල ලැබී ඇති බවත් තවත් පැමිණිලි ලැබීමෙන් පවතින බවත් සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් සැරයන් සෙනෙවිරත්න මහතා කියා සිටියේ එරා මිරකල් නමැති සමාගමක් පවත්වාගෙන ගිය සැකකාර අධ්යක්ෂවරුන් ජෙනිසීස් පිරමීඩාකාර මූල්‍ය ව්‍යාපාරය පවත්වාගෙන ගොස් ඇති බවත්, එමගින් එක් රැස් කළ මුදල් ගිණුම් 36000ක් හරහා වංචා කර ඇති බවට විමර්ශන මගින් තොරතුරු අනාවරණය වන බවය.සාක්ෂිකරුවන්ගෙන් තවදුරටත් ප්‍රකාශ සටහන් කරමින් පවතින බැවින් විමර්ශන අවසන් වී ලබා නොමැති බවද, සැකකරුවන්ට ඇප දුනහොත් ඉදිරි විමර්ශන කටයුතුවලට බාධා සිදුවන බව ද සඳහන් කළේය.
සිය සේවාදායකයන් පිළිබඳව රහස් පොලිසිය සියලු තොරතුරු මේ වන විට අනාවරණය කරගෙන ඇති බැවින් විමර්ශනවලට බාධාවක් නොවන හෙයින් සැකකරුවන්ට ඇප ලබාදෙන ලෙස නීතිඥ තුසිත ගුණසේකර මහතා ඉල්ලා සිටියේය.දෙපාර්ශ්වය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන 19 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.රහස් පොලිසිය වෙනුවෙන් උපපොලිස් පරික්ෂක ලසිත හේරත් සහ පොලිස් සැරයන් (72322) සෙනෙවිරත්න මහත්වරු අධිකරණයට කරුණු ඉදිරිපත් කළහ.
(රෝෂන් තුෂාර)
0 Comments