clean-sri-lanka-from-tomorrow

 "ක්ලීන් ශ්‍රී ලංකා" ජාතික වැඩසටහන, රටේ සියලු අංශ පිරිසිදු කිරීමේ කාර්යය හෙට (01) දින ආරම්භ කරන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් පී.එන්.ආර්.ඩී. අපොන්සු මහතා ප්‍රකාශ කළේය.



ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේදී හෙට උදෑසන නවයට මෙම ජාතික වැඩසටහන ආරම්භ කෙරෙන බව එතුමා පැවසීය.

මෙම ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයත් නොවන අතර, එය සමස්ත ශ්‍රී ලාංකික පුරවැසියන් සමඟ බැඳුණු ජාතික වැඩපිළිවෙළක් බව ද අපොන්සු මහතා අවධාරණය කළේය.

"පොහොසත් රටක්! ලස්සන ජීවිතයක්!" යන පරමාර්ථය ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන මෙම රාජ්‍ය වැඩපිළිවෙළ මගින් රටේ පරිසරය පිරිසිදු කිරීමට අමතරව, දියුණු රටවල ජනතාව භුක්ති විඳින ආකාරයේ උසස් සමාජ-ආර්ථික තත්ත්වයක් හා නිදහසක් ලබාදීම අරමුණු කර ඇති බව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා පැවසීය.

පාසල් සිසුන් සිට වැඩිහිටියන් දක්වා වූ සියලු පුරවැසියන්ගේ සක්‍රීය සහභාගීත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති අතර,

එය ජනතාව වෙත ගෙන යාමේ වගකීම මාධ්‍ය වෙත පැවරෙන බව ද ඔහු පෙන්වා දුන්නේය.

"ක්ලීන් ශ්‍රී ලංකා" ජනාධිපති ජාතික කාර්ය සාධක බලකායේ චමින්ද ජයසූරිය මහතා පවසා සිටියේ, ජනවාරි පළමුවැනි දින පැවැත්වෙන උත්සවයේදී වෙබ් අඩවියක් සහ ජංගම යෙදවුමක් එළිදැක්වෙන බවයි. මෙම වැඩසටහන මුළු රට පුරා ක්‍රියාත්මක වන අතර, තෝරාගත් නගර ආශ්‍රිතව නියමු ව්‍යාපෘතියක් ලෙස වසර පහක කාලයක් තුළ ක්‍රියාත්මක කෙරේ.

දේශීය හා විදේශීය ආයතනවලින් දැනටමත් මූල්‍ය ආධාර හා තාක්ෂණික උපදෙස් ලැබී ඇති බවත්, මෙම වැඩසටහනට දායක වීමට කැමති අයට මූල්‍ය ආධාර හෝ වෙනත් සහයෝගයන් ලබාදිය හැකි බවත්, ලැබෙන සෑම පරිත්‍යාගයක්ම විනිවිදභාවයකින් යුතුව යොදාගන්නා බවත් ජයසූරිය මහතා වැඩිදුරටත් පැවසීය.