colombo-doctor-scandal

කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සිදුකළ ගබ්සාවකදී 30 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියකට අදාළ මරණ පරීක්ෂණය ලබන ජනවාරි මාස 7 දින පැවැත්වීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පසුගියදා (17) දින නියෝග කළාය.


එසේ ගැබ් ගැනීමෙන් අනතුරුව එම කලලයට මාස 5ක් ගතව තිබියදී එම කලලය තුළ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය වෛද්‍යවරු කිහිපදෙනකු වෙත ගොස් පරීක්ෂා කර බලා ඇති බවත් කුස තුළ සිටි දරුවාට කිසියම් සංකූලතාවක් ඇති බවට එම වෛද්‍යවරුන්ද සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇති බවද නීතිඥවරයා පැවැසීය.

ඉන් අනතුරුව එම අඹුසැමි යුවළ කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගොස් එහි සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයකු හමු වී ඇති බවත් දරු ගැබ තුළ සිටින දරුවාගේ වකුගඩුවල පවතින ගැටලුවක් හේතුවෙන් බිරියගේ ජීවිතයට මෙන්ම දරුවාගේ ජීවිතයටද අවදානමක් පවතින බැවින් දරුවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රුපියල් 250,000 මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරයා එම අඹුසැමි යුවළට දන්වා ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.




එම අඹුසැමි යුවළ ඊට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව අදාළ වෛද්‍යවරයා ඔවුන්ට දෙමටගොඩ මහවිල ගාර්ඩ්න් නමැති ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් ඉකුත් නොවැම්බර් මස 20 දින එම ස්ථානය වෙත ගොස් ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.සිය සැමියාද සමඟ එම ස්ථානයට ගිය බිරියව එම වෛද්‍යවරයා එහි රඳවා තබාගෙන අඬුවක් යොදා දරුගැබ කෑලි වශයෙන් ඉවත් කර ඇති බවට එම කාන්තාව පැමිණිලිකාර සැමියාට දන්වා ඇති බවත් එම සිද්ධියෙන් අනතුරුව ඇයට අධික රුධිර වහනයක් සිදුව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.


ගබ්සාවෙන් අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් එසේ අසාධ්‍ය තත්ත්වයට පත් ඇයව අදාළ වෛද්‍යවරයා විසින් ඔහු සේවය කරන රෝහල වෙතට ඉකුත් 22 දින රැගෙන යෑමෙන් අනතුරුව පැය එකහමාරකට ආසන්න කාලයකදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.




එම ගබ්සාව සිදුකළ ස්ථානයේ කිසිදු ශල්‍යකර්මයකට සුදුසු ස්ථානයක් නොවන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.සිය බිරිය දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින මොහොතේ ඇයව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන ලෙසට පැමිණිලිකාර සැමියා එම වෛද්‍යවරයාට කිහිප අවස්ථාවකදීම දැනුම්දී ඇතත් එම ඉල්ලීම නොසලකා හැර ඇති වෛද්‍යවරයා ඔහු සේවය කරන පෞද්ගලික රෝහල වෙත ඇයව එසේ රැගෙන ගොස් ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මඟින් පොලිසිය වෙත දැනුම් දී ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියේදී අදාළ වෛද්‍යවරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මෙම සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන බවද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසීය.
(කුමුදු උපුල් ශාන්ත)