doctor-fake

 වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් පෞද්ගලික අවශ්‍යතාවයකට යැයි පවසා කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානවලින් අති සුඛෝපභෝගී වාහන ලබාගෙන ඒවාට වංචනික ලෙස ව්‍යාජ සහතික සකසා අධික මිල ගණන් වලට උකස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හෝමාගම උප ඒකකය පවසයි.එලෙස වංචනික ලෙස ලිපි ලේඛන සකසා රුපියල් කෝටි තුනකට උකස් කර තිබූ වාහන දෙකක් භාරයට ගත් බව එම ඒකකය කියයි.




මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැල්ලවත්ත පාමංකඩ ප්‍රදේශයේ පදිංචි (33) හැවිරිදි පුද්ගලයෙකි. මෙම පුද්ගලයා කොට්ටාව නගරයේ කුලී පදනම මත වාහන ලබාදෙන ආයතනයකින් වෑන් රථයක් ලබාගෙන එම වාහනයේ ජී.පී.එස්. තාක්ෂණික පද්ධතිය ගලවා ඉවත් කොට කොන්දේසි උල්ලංඝනය කර ඇතැයි පවසමින් කොට්ටාව පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි.




ඒ පිළිබඳව කොට්ටාව පොලිසිය පරික්ෂණයක් පවත්වන අතරතුරදී නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට අයත් හෝමාගම උප ඒකකය මගින් තවත් විමර්ශනයක් ආරම්භ කරන ලදී.ඒ අනුව එහි ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බුද්ධික චතුරංග මහතාට ලැබී තිබූ තොරතුරකට අනුව එම වාහනය කුලී පදනම මත ලබාගත් බව පැවසෙන පුද්ගලයා කොට්ටාව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබුණි.


ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමකට අනුව කොට්ටාව නගරයෙන් ලබාගෙන තිබූ වෑන් රථය රුපියල් කෝටියකට මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට උකස් කර තිබියදී සොයා ගත් බව පැවසේ.එම වාහනයට ව්‍යාජ හිමිකම් සහතික දෙකක් සකසා ඉන් එක් හිමිකම් සහතිකයක් හරහා මෙම ව්‍යාපාරිකයාට වෑන් රථය උකස් කර තිබූ බවත් අනෙක් හිමිකම් සහතිකය කඩුවෙල ප්‍රදේශයේ පුද්ගලයකුට උකස් කොට තවත් ලක්ෂ අසූවක මුදලක් ලබාගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.



මේ සම්බන්ධයෙන් දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී මුල්ලේරියාව ප්‍රදේශයේ කුලී පදනම මත වාහන ලබාදෙන ස්ථානයකින් මෝටර් රථයක් ලබාගෙන එම වාහනයට ද ව්‍යාජ ලේඛන සකසා විදේශගතව සිට මෙරටට පැමිණ පිළියන්දල ප්‍රදේශයේ පදිංචි ගණකාධිකාරීවරයකුට රුපියල් එක් කෝටි විසිපන් ලක්ෂයකට උකස් කර තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පැවසේ.


මෙම වාහන දෙක සඳහා ව්‍යාජ ලේඛන සැකසීමට  මුල් හිමිකරුගේ ව්‍යාජ හැඳුනුම්පතක් පවා සකසා තිබූ බවත් ඒ හරහා වාහනයේ හිමිකම් සහතික, පැවරුම් සහතික, දුම් සහතික ඇතුළු සියලුම සහතික ව්‍යාජ ලෙස සකසා තිබියදී සොයාගත් බවත් පැවසේ. මෙම හිමිකම් සහතික සැකසීමට මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුවේ දැනට

සේවයේ නිරත නිලධාරියකුගේ සම්බන්ධතාවයක් පවතින බවත් ඔහු රුපියල් ලක්ෂ දෙක බැගින් ලබාගෙන මෙම සහතික සකසා ඇති බවත් ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවත් පැවසේ. අත්අඩංගුවට ගත් සැකකරු මෙම ජාවාරම කරගෙන ගොස් ඇත්තේ වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් වන අතර ඒ සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිකුත් කළබව කියන ව්‍යාජ හැඳුනුම්පතක්ද සන්තකයේ තිබී භාරයට ගත් බව පොලිසිය කියයි.මෙසේ වංචනික ලෙස උපයන මුදල් කැසිනෝ සුදුවට වැය කර ඇති බව පොලීසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.
(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )