dsi-fun-soul-ban

ඩී.එස්.අයි. පාවහන් නිෂ්පාදන සමාගමේ ෆන් සෝල් වෙළෙඳ ලකුණ අනුකරණය කරමින් පාවහන් නිෂ්පාදනය, බෙදා හැරීම, අලෙවිය වළක්වමින් හොරණ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ පාවහන් නිෂ්පාදන සමාගමකට එරෙහිව අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කළේය.



ඩී.සැම්සන් සහ සන් පුද්ගලික සමාගම විසින් බුද්ධිමය දේපොළ පනත යටතේ පැවරූ නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව මෙම මස 18 වැනිදා තෙක් බල පැවැත්වෙන පරිදි කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ජගත් ඒ. කහඳගමගේ විසින් එම වාරණ නියෝගය නිකුත් කළේය.

පැමිණිලිකාර සමාගම වෙනුවෙන් සුදත් පෙරේරා නීතිඥ සමාගමේ උපදෙස් පරිදි පෙනී සිටි නීතිඥ මනෝජ් බණ්ඩාර කරුණු ඉදිරිපත් කරමින් ඩී.එස්.අයි. සමාගම නිෂ්පාදනය කරන ‘‘ෆන් සෝල්’’ පාවහන් යුගලට සමාන වෙළෙඳ ලකුණ භාවිත කරමින් විත්තිකාර සමාගම පාවහන් නිෂ්පාදනය කරමින් අසාධාරණ තරගයක නියැලීමට එරෙහිව මෙම නඩුව පවරා ඇතැයි දන්වා සිටියේය.



පැමිණිලිකාර සමාගමේ කීර්තිය උපයෝගී කර ගනිමින් ඊට සමාන පාවහන් නිෂ්පාදනය කර ජනතාව නොමඟ යවනසුලු ආකාරයේ ප්‍රසිද්ධියක් දෙමින්, අනුකරණ පාවහන් නිෂ්පාදනය කර බෙදා හැරීම, අලෙවිය අසාධාරණ තරගයක් බව පෙන්වා දුන් නීතිඥ මනෝජ් බණ්ඩාර, එය බුද්ධිමය දේපොළ පනත උල්ලංඝනය කිරීමක් බවද සඳහන් කළේ ය.

පැමිණිල්ල මගින් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා ෆන් සෝල් වෙළෙඳ නාමයට සමාන ලකුණු හෝ සපත්තු මෝස්තරය නිෂ්පාදනය කර බෙදා හැරීම වළක්වාලමින් විත්තිකාර සමාගමට වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නිකුත් කළේය.

මෙම නඩුවට අදාළ විත්ති පාර්ශ්වයේ විරෝධතා මෙම මස 18 වැනිදා ඉදිරිපත් කරන ලෙසද විනිසුරුවරයා නියම කළේය.

විත්තිකාර සමාගම වෙනුවෙන් නීතිඥ විදුර වික්‍රමනායක පෙනී සිටියේය.
(ඉෂාර රත්නකාර)