dubai-call-murder

ගම්පහ අධිකරණය ආසන්නයේ බේකරියක මුදල් අයකැමිවරයකු ලෙස සේවය කරමින් සිටියදී තම්මිට පාලම අසලදී පෙරේදා රාත්‍රියේ වෙඩි ප්‍රහාරයකට ලක් වී මියගිය අරුණ ජයතිලක නැමැත්තා එම පාලම අසලට යතුරුපැදියකින් ගොස් ඇත්තේ ඩුබායි රටෙන් ලැබුණු දුරකතන ඇමතුමකට අනුව කිසියම් පුද්ගලයකු මුණගැසීමට යැයි තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.වෙඩිකා මියගිය අරුණ නැමැත්තා මීට කලකට ඉහත දී

පාතාල කල්ලියකට සම්බන්ධ බවට පැවසෙන දෙදෙනකුට තවත් කිහිප දෙනකු සමඟ එක්වී ගස් බැඳ පහර දී ඇති බව පැවැසේ.

පහර කෑමට ලක් වූ පාතාල දෙදෙනා මේ වන විට ඩුබායිවලට පලා ගොස් සැඟව සිටින්නන් බව ද කියති.අරුණ නැමැත්තා මාකේවිට තම්මිට ප්‍රදේශයේ නිවෙසේ පෙරේදා රාත්‍රියේ රැඳී සිටියදී ලැබුණු දුරකතන ඇමැතුමකින් පසු යතුරුපැදියේ නැගී පිටව ගිය බව ඔහුගේ බිරිඳ ද පවසන්නේ යැයි පොලිස් ආරංචි මාර්ග පවසයි.වෙඩි කා මියගිය අරුණ නමැත්තාගේ ජංගම දුරකතනය පරික්ෂා කර බැලීමේදී අවසන් වරට ඔහුට ඩුබායි රටෙන් ඇමතුමක් ලැබී තිබෙන බව හෙළි වූයේ යැයි ද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.


ඩුබායි සිට කතා කළ පුද්ගලයා කළ දැනුම දීම අනුව අරුණ නමැත්තා කිසිවකු හමුවීම සඳහා යතුරුපැදියේ නැගී තම්මිට පාලම අසලට ගොස් යතුරුපැදිය මත වාඩි වී සිටිය අතරවාරයේ

යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු පිස්තෝලයකින් වෙඩි තබා පලා ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

වෙඩි වැදී සිටි අරුණ ගම්පහ රෝහලට රැගෙන ගිය අවස්ථාවේ වෛද්‍යවරුන් පරික්ෂා කර බලා මියගොස් ඇති බව දැනුම් දුන් බව පොලිසිය කීය.ඔහුගේ පපු ප්‍රදේශයේ වෙඩි වැදුණු සලකුණු දෙකක් පෙනෙන්නට ඇතැයි පොලිසිය කියයි. ගම්පහ මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශය වැඩිදුර පරික්‍ෂණ පවත්වයි.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)