ගුරුවරුන්ට මොඩියුල විස්සක් අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය (ගුරු අධ්‍යාපන පරිපාලන) නිකුත් කළ ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඊයේ (25දා) අවලංගු කර තිබේ.ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපදෙස් මාලාවක් නුදුරේදී නිකුත් කරන බව අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, කලාප අධ්යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇත.
ගුරු සේවා ව්‍යවස්ථානුකූලව ගුරු කාර්යක්ෂමතා කඩඉම් සඳහා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක පවත්වනු ලබන මොඩියුල වැඩසටහන පිළිබඳව අධ්‍යාපන අධ්යක්ෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) ඩබ්ලිව්.එස්.පී.එම්. දිසානායකගේ අස්සනින් යුතුව පසුගිය 17 වැනිදා ලිපියක් මඟින් දැනුම්දී තිබිණි.
සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්යක්ෂවරු, කලාප අධ්යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් ආමන්ත්‍රණය කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුම්දී තිබුණේ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා (EB 1, EB 2, EB 3ට අදාළව) මොඩියුලර් 20ක් හැදෑරිය යුතු බවත් ඒ සඳහා අදාළ ගුරුවරුන් ඔවුන් අයත් කලාපයේ ගුරු වෘත්තීය මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු බවත්ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (ආයතන) නායකත්වයෙන් පසුගිය 13 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් එහි දක්වා තිබේ.
දැනට ක්‍රියාත්මක මොඩියුලර් වැඩසටහනට සහභාගි නොවූ ගුරුවරුන් තවදුරටත් පළාත්වල සිටින බවත්, 2025.06.30 දින දක්වා කාර්යක්ෂමතා කඩඉම් විභාගය හැදෑමට සිටින ගුරුවරුන් හඳුනාගෙන කඩිනමින් ගුරු වෘත්තීය මධ්‍යස්ථානවලට යොමුකරන ලෙසත් අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබිණි.ගුරු කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් නිසි කලට ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ලියාපදිංචි වීම අදාළ ගුරුවරුන්ගේ වගකීමක් බව එමඟින් අවධාරණය කර තිබූ දිසානායක මහත්මිය ලියාපදිංචි නොවීමෙන් ඇති වන ගැටලුකාරී තත්ත්ව මඟහරවා ගැනීමට ගුරුවරුන්ගේ සක්‍රිය සහභාගිත්වය වැදගත්කොට සලකන ලෙසත් මෙම කාර්යයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් එහි දක්වා ඇත.
ගුරුවරුන්ට උසස්වීම් ලබාදීමේදී ඉගෙනු - ඉගැන්වීම් ක්‍රමවේද, තොරතුරු තාක්ෂණය, පාසල් කළමනාකරණය, පාඩම් සැලසුම් සකස් කිරීම, අධ්‍යාපන ක්‍රම ශිල්ප, ඉංග්‍රීසි භාෂාව ආදී වශයෙන් මාතෘකා කිහිපයක් යටතේ පැවරුම් සිදුකර විභාගයන්ට පෙනී සිටීමට සිදුවන අතර මොඩියුලර් යනුවෙන් එය හඳුන්වනු ලබයි.
මේ සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙසේ කීය.මොඩියුලර් කරන විට ගුරු මධ්‍යස්ථානවලින් ගුරුවරුන් මත විශාල පීඩනයක් මුදාහැරියා. දින දානවා. ඒවට එන්න කියනවා. ආවේ නැත්නම් නැවත කරන්නෑ කියනවා. ඇතැම් ගුරු මධ්‍යස්ථානවල මොඩියුලර් කරන්න මුදලුත් එකතු කළා.
මේවා සියල්ල සැලකිල්ලට අපි අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුද්දක කාලයක් තිස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මොඩියුලර් දහයකට අඩු කරන්නත්, ස්වයං අධ්‍යයනයක් යටතේ එය සිදුකරන්නත් එකඟතාවකට ආවා. එවිට ගුරුවරුන් ගුරු මධ්‍යස්ථානවලට යන්න ඕන නැහැ. කාගෙවත් බලකිරීම්වලට යටත් වෙන්නත් ඕන නෑ. එවිට විභාගයක් පවත්වා යම් ඇගයීමක් කළ හැකියි. ඒකට ගුරු සංගම් එකඟ වුණා. මෙම තීරණය තිබියදී අතිරේක ලේකම්වරියක් හදිස්සියේ ලේකම්ගෙන් විමසන්නැතිව ලියුමක් ගහලා තිබුණේ. ඇමැති දන්නෙත් නෑ. ලේකම් දන්නෙත් නෑ මේ ලියුම ගහපු විත්තිය. මෙම ලේකම්වරියගේ ලිපිය අනුව දෙකයි දෙක ශ්‍රේණියේ සිටින ගුරුවරුන් දෙකයි එකට උසස්වීමක් ලබා ගිය විට එම ශ්‍රේණියේ මොඩියුලර් සහ ඊට පෙර ශ්‍රේණියේ මොඩියුලර් කරන්න වෙනවා. ඒ නිසා අපි මේකට විරෝධය පළ කළා. එය අවලංගු කරන්න අධ්‍යාපන ලේකම්වරයා එකඟ වුණා. ඒ අනුව අතිරේක ලේකම්වරියගේ ලියුම අවලංගු කරලා තිබෙනවා. ඉදිරියේදී මොඩියුලර්වල් 10ට අදාළ ස්වයං අධ්‍යයනයක් අනුව පියවර ගැනීමට නියමිතයි.
(අමිත් මධුරංග ගමගේ)
0 Comments