election-commision

 මැතිවරණ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසන පරිදි, රජය ප්‍රකාශ කළ ආකාරයට පළාත් පාලන මැතිවරණය ලබන ජනවාරි මාසයේදී පැවැත්වීමට සූදානම් කර ඇත.


ප්‍රධාන මැතිවරණ දෙකක් පසුගියදා පැවැත්වූ බැවින්,

පළාත් පාලන මැතිවරණය සංවිධානය කිරීමට දින හතළිහක පමණ කාලයක් අවශ්‍ය බව ඔහු පෙන්වා දුන්නේය. මෙම මැතිවරණය අලුත් මැතිවරණයක් නොව, වෙනස්කම් රැසකට ලක් වූ එකක් බවද ඔහු අවධාරණය කළේය.
ජනවාරි හෝ පෙබරවාරි මාසයේදී මැතිවරණය පැවැත්විය හැකි බව පැවසූ අධ්‍යක්ෂ ජනරාල්වරයා, පසුගිය ජනාධිපතිවරණයේ සහ මහ මැතිවරණයේ සේවය කළ නිලධාරීන්ගේ සහය මෙම මැතිවරණය සඳහාද ලබා ගත හැකි බව සඳහන් කළේය.
පළාත් පාලන ආයතන 340ක් වෙනුවෙන් මන්ත්‍රීවරුන් 8,711 දෙනෙකු තෝරා පත් කර ගැනීම සඳහා පසුගිය වසරේ අප්‍රේල් මාසයේදී නාම යෝජනා කැඳවන ලද අතර, ඊට අපේක්ෂකයින් 80,672 දෙනෙකු ඉදිරිපත් විය.

මෙම පිරිස මහ නගර සභා 24ක්, නගර සභා 41ක් සහ ප්‍රාදේශීය සභා 275ක් නියෝජනය කරති.
නාම යෝජනා ඉදිරිපත් කළ පිරිස අතර රාජ්‍ය සේවකයින් 3,000ක් පමණ සිටින අතර, නාම යෝජනා දුන් පිරිසෙන් 8,000ක් පමණ විදේශගත වී හෝ මිය ගොස් සිටින බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය වාර්තා කරයි. තවද, අපේක්ෂකයින් 2,000කට වැඩි පිරිසක් මේ වන විට පක්ෂ මාරු කර ඇති බවද අමාත්‍යාංශයට වාර්තා වී තිබේ.
දැනට ඇල්පිටිය හැර අනෙකුත් සියලුම පළාත් පාලන ආයතන කොමසාරිස්වරුන්ගේ පාලනය යටතේ පවතී.