වසර 2025 ජනවාරි සිට ජූනි දක්වා මාස 6ක කාලය සඳහා ලංකා විදුලිබල මණ්ඩලය (ලංවිම) ඉදිරිපත් කර ඇති විදුලි ගාස්තු සංශෝධන යෝජනාව පිළිබඳ මහජන අදහස් විමසීම ඊයේ (17) දින සිට ආරම්භ කළ බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි. ලංකා විදුලිබල මණ්ඩලය විසින් 2025 වසරේ මුල් මාස 6 සදහා ඉදිරිපත් කර ඇති සංශෝධනයෙන් පවත්නා විදුලි ගාස්තුව නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට යෝජනා කර ඇත.
ලංවිම යෝජනාව මෙන්ම ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිත්‍ය කාර්ය මණ්ඩලයේ නිර්දේශ(ප්‍රතියෝජනාව) පිළිබඳ මහජන අදහස් හා යෝජනා මෙම කාලය තුළදී ඉදිරිපත් කළ හැකිය.
ඒ අනුව ලිඛිත අදහස් බාර ගැනීම වසර 2025 ජනවාරි 8 වැනිදා දක්වා පැවැත්වෙන අතර ඒ අතරතුරදී වාචික අදහස් දැක්වීම් සැසි 9ක් පවත්වා අවසන් තීරණය ජනවාරි 17 වැනිදා ලබාදෙන බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව සඳහන් කරයි.
මහජන උපදේශනයේ ලිඛිත අදහස් හා යෝජනා 2025 ජනවාරි 8 වැනි දිනට පෙර
info@pucsl.gov.lk ,විද්‍යුත් ලිපිනයෙන්ද , 076 427 1030 අංකය ඔස්සේ වට්ස්ඇප් මඟින්ද, www.facebook.com/pucsl, ෆේස්බුක් පිටුව ඔස්සේ ද එසේත් නොමැතිනම් “විදුලිගාස්තු පිළිබඳ මහජන උපදේශනය, ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වන මහල, ලංකා බැංකු වෙෙළද කුලුන, කොළඹ 3 ලිපිනයට තැපෑලෙන් ද මහජන අදහස් දැක්විය හැකි බව ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව දැනුම් දෙයි.
(රක්ෂණ ශ්‍රියන්ත)
0 Comments