elephant-attack-punani

මහත්තය පූනෑව කදවුර අසල ප්‍රධාන දොරටුව ආසන්නයේ පිහිටි කෑම කඩයකින් රාත්‍රී ආහාරය කෑලි පාර්සලයක් රැගෙන කඳවුරට ගමන් කරමින් ඉදල තියනවා. කෑම කඩේ මුදලාලි ඒ වෙලාවෙ දැකල තියනව කඳවුරට ගමන් කරන පාර අයිනේ අලියෙක් සිටිනවා. මුදලාලි කෑගහල මහත්තයට කියල තියෙනවා. “යන්න එපා යන්න එපා” අලියෙක් ඇවිදින් කියා. නමුත් මහත්තයට මුදලාලි කියපු දේ ඇහිල නෑ. ඒ සමගම මහත්තයට අලිය පහර දීලා තියෙනවා.



මැදවච්චිය පුනානි නාවික හමුදා කඳවුරේ ප්‍රධාන දොරටුව ආසන්නයේදී ඉකුත් 29 වැනිදා රාත්‍රී 9.30 ට පමණ වන අලි ප්‍රහාරයකට ගොදුරුව එදිනම මියගිය ශ්‍රී ලංකා නාවික හමුදාවේ කමාන්ඩර් ජේ.ඒ. මානික්ක කුමාර ජයකොඩි (41) මහතාගේ බිරිය ජේ.ඒ.පී. මධුශංකා ජයසිංහ මහත්මිය සිය සැමියාට සිදුවූ හදිසි අනතුර පිළිබඳව විස්තර කරමින් එසේ පැවසීය.

කමාන්ඩර් මානික්ක කුමාර ජයකොඩි  මහතා මෙම අනතුරින් මියයන විට උතුරුමැද නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා පූනෑව පණ්ඩුකාභය කඳවුරේ නාවික මෝටර් ප්‍රවාහන ඉංජිනේරු නිලධාරී ලෙස (උතුරු මැද නාවික විධානය) සේවය කරමින් සිට ඇත. නාවික හමුදාවේ වැලිසර, අම්පාර පානම, කන්කසන්තුරේ යන කඳවුරුවල සේවය කර ඇති ඔහු මැදවච්චිය පූනෑව නාවික හමුදා කඳවුරේ අවසන් වරට සේවය කරමින් සිටියදී මෙම දෛවෝපගත ඉරණමට ගොදුරුවී ඇත.



මිනුවන්ගොඩ පදිංචිව සිට ඇති ජේ.ඒ.පී. ඔධුශංකා ජයසිංහ මෙනෙවිය සමග. 2017.08.24 වැනි දින යුගදිවියට පිවිසි ඇති කමාන්ඩර් මානික්ක කුමාර ජයකොඩි මහතා මෙම අනතුරින් මියයන විට ලාබාල දරු දෙදෙනෙකුගේ පියෙකු විය. ඔහුගේ පස් හැවිරිදි සිනෙරු ධිමන ජයකොඩි පෙරපාසලේ දරුවකු අතර, ලක්විල ලෝසද ජයකොඩි බාලදරුවා තුන් හැවිරිදි වියෙහි පසුවෙයි. බිරිඳ මධුශංකා ජයකොඩි මහත්මිය සිය සැමියා මුහුණදී ඇති අනතුර සහ ඔහු පිළිබඳව මෙසේ පැවසුවාය.

මහත්තය මැදවච්චිය  පූනෑව කඳවුරේ සිට පසුගිය බ්‍රහස්පතින්දා (284) රාත්‍රී කාලයේ නිවසට පැමිණියා. එසේ නිවසට පැමිණියේ පසුදින (294) කොළඹ නාවික හමුදා මූලස්ථානයේ පැවැත්වෙන සාකච්ඡාවකට සහභාගී වීමට යාම සඳහා. වැනිදා උදේ ඔහු නාවික හමුදා මූලස්ථානයට යාම සඳහා නිවසින් පිටවී ගියා.නාවික හමුදා මූලස්ථානයේ තිබී ඇති සාකච්ඡාවෙන් අනතුරුව ඔහු පොදු ප්‍රවාහන සේවයකට අයත් බස් රථයකින් කොළඹ සිට මැදවච්චිය පූනෑව දක්වා ගමන්කර තිබෙනවා. මහත්තය නාවික හමුදාවේ ප්‍රවාහන ඉංජිනේරු නිලධාරියෙකු ලෙස සේවය කළත් ඔහු රාජකාරී ගමන් සඳහාද නාවික හමුදාවේ වාහන පාවිච්චි කළේ ඉතා අඩුවෙන්.



මහත්තය කඳවුර අසල කෑම කඩයකින් 29 වැනිදා රාත්‍රී 9.30ට පමණ කෑම පාර්සලයක් රැගෙන කෑම කඩේ සිට ඒ අසන්නයේ පිහිටි කඳවුර වෙත පා ගමනින් ගමන් කරමින් සිටියදී මාර්ගය අයිනේ අලියෙක් සිටිනවා කියා කෑම කඩයේ මුදලාලි යන්න එපා කියා කෑගසා පවසා තිබෙනවා. නමුත් ඒ කෑගැසීම මහත්තයට ඇසී නැහැ. එය ඇසී නැත්තේ ඔහු ඒ වෙලාවේ ජංගම දුරකථන ඇමතුමක යෙදී සිටි නිසා බව අපට දැනගන්නට ලැබී තිබෙනවා. පාර අයිනේ සිට ඇති වන අලියකු ඒ වෙලාවේ මහත්තයට පහරදීල තියෙනවා.
( එස්.යූ.ඩබ්ලිව්. කේ. ජයවර්ධන)