හානි පූරණය සඳහා වන කාර්යාලය විසින් ඉකුත් වර්ෂයේ (2023) වන්දිලාභීන්ට ගෙවනු ලැබූ රුපියල් මිලියන 1,335ක් වූ වන්දි මුදලින් රුපියල් මිලියන 753ක මුදල් ගෙවා ඇත්තේ අරගලයේ දී මැති ඇමැතිවරුන්ගේ නිවාසවලට සිදුවී ඇති හානි සඳහා බව අනාවරණය වී ඇත.
වන්දි මුදල් ගෙවීමේ දී 2023 වර්ෂයට පෙර අයැදුම් කළ වන්දිලාභීන්ට වඩා 2023 වර්ෂයේ දී වන්දි මුදල් අයැදුම් කළ අරගලයේ දී විපතට පත් වන්දිලාභීන්ට ප්‍රමුඛතාවය ලබා දී ඇති බව ද අනාවරණය වී තිබේ.
පෙර වසරවල සිට අනිකුත් වන්දි සඳහා අයැදුම් කළ වන්දිලාභීන්ට ගෙවා ඇත්තේ රුපියල් මිලියන 582ක මුදලකි. ඒ අනුව 2023 වර්ෂයට පෙර අයැදුම් කළ වන්දිලාභීන්ට වන්දි ගෙවීමේ දී ප්‍රමුඛතාවය ලබාදීම සාපේක්ෂ වශයෙන් අවම මට්ටමක පැවතුණි.
පෙර වසරවල සිට අයැදුම් කළ වන්දිලාභීන්ට වන්දි ගෙවීමේ දී ප්‍රමුඛතාවයක් ලබාදීමට කටයුතු කළ යුතු බවට විගණනය මගින් නිර්දේශකොට ඇත.
අරගලයේ දී හානියට පත් නිවාසලාභීන්ගේ නිවාස සඳහා වන්දි ගෙවීමේ දී අවශ්‍යතා පුමුඛතාවය මත වන්දි ගෙවීමට අධ්යක්ෂ මණ්ඩලය හා අමාත්‍ය මණ්ඩලය අනුමත කර ඇති බව හානිපූරණය සඳහා වන කාර්යාලය මගින් විගණනයට සඳහන් කර ඇත. මෙම තොරතුරු අනාවරණය වන්නේ ජාතික විගණන කාර්යලය මගින් හානිපූරණය සඳහා වන කාර්යාලය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කර ඇති විගණන වාර්තාවේය.
(ලලිත් චාමින්ද)
0 Comments