ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රෝන් සුළි සුළඟින් විනාශයට පත් මයෝට් හි සංචාරයේදී විරෝධතාවයන්ට ලක්විය.

වැඩි ආධාර ඉල්ලමින් ප්‍රදේශවාසීන් විසින් ඔහුට කෑ ගැසීම හා ඉල්ලා අස්වන ලෙස කෑ ගැසීමෙන් පසු මැක්‍රෝන් ප්‍රදේශවාසීන්ට පිළිතුරු දෙමින්: "මම සුළි සුළඟ නොවෙයි. මම වගකිව යුතු නැහැ." යැයි පැවසීය.

චිඩෝ සුළි සුළඟ කුඩා දූපත් හරහා ගමන් කළ දින පහකට පසු ඔහු බ්‍රහස්පතින්දා ප්‍රංශ ඉන්දියානු සාගර බල ප්‍රදේශයට පැමිණියේය. දහස් ගණනක් ජලය නොමැතිව සිටින අතර අතුරුදහන් වූවන් සොයා ගැනීමේ ප්‍රයත්නයන් ගිලවුකරුවන් විසින් දිගටම කරගෙන යයි.



මෙයට ප්‍රතිචාර ලෙස සිකුරාදා දක්වා තම සංචාරය දීර්ඝ කළ බව මැක්‍රෝන් මාධ්‍යවේදීන්ට පැවසූ අතර, එදිනම පිටත්ව යාමෙන් "අපි එනවා, අපි බලනවා, අපි යනවා යන අදහස ස්ථාපිත විය හැකිව තිබුණි" යැයි පැවසීය.

මැක්‍රෝන් සිකුරාදා තවත් ප්‍රදේශ බැලීමට යනු ඇත. රජය මෙම බල ප්‍රදේශයට ඉක්මනින් වැඩි සහයක් එවනු ඇති බවත්, සඳුදා ප්‍රංශය ජාතික ශෝක දිනයක් පවත්වන බවත් ඔහු පැවසීය.

ප්‍රංශ නිලධාරීන් විසින් වාර්තා කර ඇති පරිදි අවම වශයෙන් පුද්ගලයින් 31 දෙනෙකු මිය ගොස් ඇති නමුත්, තවමත් දහස් ගණනක් අතුරුදහන්ව සිටින බැවින් මරණ සංඛ්‍යාව ඊට වඩා බෙහෙවින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරේ. දූපත් සමූහයේ විශාල කොටසක තවමත් විදුලිය නැත.

ආහාර හා ජල සැපයුම ප්‍රමුඛතාවය බව නිලධාරීහු පවසති. තම සංචාරයේදී ආහාර හා සෞඛ්‍ය භාණ්ඩ ටොන් හතරක් රැගෙන ආ බව මැක්‍රෝන් පැවසීය.

හෙලිකොප්ටර් යානයකින් විනාශය දැක ගැනීමට කලාපය වටා ගිය ඔහු බ්‍රහස්පතින්දා කිසි දිනක නොඅමතක වන දිනයක් බව පැවසීය.



දූපත්වල විනාශ වූ යටිතල පහසුකම් හා නිවාස යළි ගොඩනැගීමට ජනාධිපතිවරයා පොරොන්දු විය.

ඔහු හානියට පත් ප්‍රදේශ පරීක්ෂා කරද්දී ජනතාව "මැක්‍රෝන් ඉල්ලා අස්වෙයව්", "ඔබ හිස් කතා කරනවා" සහ "වතුර, වතුර, වතුර" යැයි කෑ ගැසූහ.

මාමවුඩසු රෝහල් මධ්‍යස්ථානයට කළ සංචාරයේදී, AFP පුවත් සේවය වාර්තා කළ පරිදි කාන්තාවක් මැක්‍රෝන්ට පැවසුවේ: "මෙහි කිසිවෙකු ආරක්ෂිත බවක් දැනෙන්නේ නැහැ... මිනිස්සු වතුර වලට ගහගන්නවා."

රොයිටර් පුවත් සේවයට අනුව රෝහලේදී එක් පුද්ගලයෙක් මැක්‍රෝන්ට පැවසුවේ, "ඔබේ සේවාවන් අතිභාරයට ලක්වී ඇත," යනුවෙනි. "මම ජීවත්වන තැනට උපකාර ලැබී නැහැ."

නමුත් අන් අය පැවසුවේ මැක්‍රෝන්ගේ සංචාරය ගැන තමන් කෘතඥ වන බවත් වැඩි කාලයක් රැඳී සිටින ලෙස ඉල්ලා සිටි බවත්ය.



මැඩගස්කරයට උතුරින් පිහිටි මෙම බල ප්‍රදේශය ප්‍රංශයේ දුප්පත්ම ප්‍රදේශයයි. අසල්වැසි කොමොරොස් වලින් නීති විරෝධී සංක්‍රමණය, අඩු තත්ත්වයේ නිවාස හා පොදු සේවා ඇතුළු පුළුල් සමාජ හා ආර්ථික ගැටලු වලින් එය පීඩා විඳියි.

සුළි සුළඟින් බරපතල ලෙස බලපෑමට ලක් වූවන් අතර සංක්‍රමණිකයින් සිටින බව විශ්වාස කෙරේ.

අසාමාන්‍ය ස්වභාවික ආපදා තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, එමගින් අර්බුදය වඩාත් කඩිනමින් හා ඵලදායී ලෙස සමනය කිරීම සඳහා පරිපාලනමය බාධක මඟහරවා ගැනීමට හැකි වේ.

එය මාසයක කාලයක් සඳහා ක්‍රියාත්මක කර ඇති අතර, අවශ්‍ය නම් මාස දෙකක කාල පරිච්ඡේද මගින් දීර්ඝ කළ හැකිය.