fuel-shortage-no

 ඛනිජ තෙල් සංස්ථා සභාපති ඞී.ජේ. රාජකරුණා මහතා ප්‍රකාශ කර සිටින්නේ සංස්ථාව සතුව ප්‍රමාණවත් තෙල් තොග පවතින බැවින් කිසිදු ඉන්ධන හිඟයක් ඇති නොවන බවයි. ඔහු වැඩිදුරටත් පවසා සිටියේ පෙට්‍රල් හා ඩීසල් ඇතුළු සියලු ඉන්ධන වර්ග අප්‍රේල් මාසය දක්වා ඇණවුම් කර ඇති බවයි.



මෙම ප්‍රකාශය කර ඇත්තේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී, මෙරට ඉන්ධන අලෙවි කරන විදේශ සමාගමක් ආනයනය කළ මෙට්‍රික් ටොන් 30,000ක ඉන්ධන තොගයක් රැගත් නෞකාවක් නැවත හරවා යැවීම සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

සභාපතිවරයා අවධාරණය කර සිටියේ මෙම තෙල් නැව හරවා යැවීමෙන් රටට කිසිදු බලපෑමක් සිදු නොවන බවත්, එය අදාළ සමාගමේ අභ්‍යන්තර ගැටලුවක් හේතුවෙන් සිදුවූ බවත්ය.

එම නෞකාවේ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 15,000ක් සහ ඩීසල් මෙට්‍රික් ටොන් 15,000ක් තිබී ඇත.

තවද, එම සමාගමට අයත් ඉන්ධන පිරවුම්හල් සඳහා ලංකා ඛනිජතෙල් සමාගම මගින් ඉන්ධන සැපයීම සිදු කරන බවත්, රටේ අඛණ්ඩ තෙල් සැපයුම් වගකීම ඛනිජ තෙල් සංස්ථාව විසින් භාරගෙන ඇති බවත් සභාපතිවරයා සඳහන් කළේය.

රාජකරුණා මහතා තවදුරටත් පැහැදිලි කළේ එම නෞකාව ලංකා ඛනිජ තෙල් සංස්ථාව විසින් හරවා නොයැවූ බවත්, ඉදිරියේදී රටේ ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට මාධ්‍ය වාර්තාවල පළ වන කරුණුවල කිසිදු සත්‍යතාවක් නොමැති බවත්ය.