graduate-issue

 උපාධිධාරි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ඇති වූ සමථය අනුව කටයුතු කර ඇත්දැයි යන්න පිළිබද ප්‍රගති වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස, ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට ඊයේ (3) දැනුම් දුන්නේය.අධිකරණයේ ඇති වූ සමථය අනුව අධ්‍යාපන අමාත්‍යාංශය මෙතෙක් කටයුතු කර නැතැයි සඳහන් කරමින් පෙත්සම්කාර සංවර්ධන නිලධාරින් විසින් ගොනු කර තිබූ මෝසමක් සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, ලබන වර්ෂයේ පෙබරවාරි 27 වැනිදා අදාළ ප්‍රගති වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නීතිපතිවරයාට දැනුම් දුන්නේය.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ මහින්ද සමයවර්ධන මහත්ම මහත්මින්ගේන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ මෝසමට අදාළ පෙත්සම සලකා බැලිණි.සංවර්ධන නිලධාරි චතුර දේවපුර මහතා ඇතුළු 8 දෙනකු විසින් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කර ඇත. උපාධිධාරි සංවර්ධන නිලධාරීන් ගුරු සේවයට නොකිරීම අන්තර්ග්‍රහණය සම්බන්ධයෙන් මෙම පෙත්සම් ගොනු කර තිබිණි.


පෙත්සම මීට පෙර  ශ්‍රේෂ්ඨාධිකරණයේ කැඳවනු ලැබූ අවස්ථාවකදී ගුරු පුහුණුව ලැබූ සියලුම් සංවර්ධන නිලධාරින් ගුරු සේවයට අන්තර්ග්‍රහණය කිරිම සම්බන්ධයෙන් සමථයක් ඇති වී තිබිණි.මෝසමකට අනුව පෙත්සම සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නුවන් බෝපගේ මහතා කරුණු දක්වමින්,

අධිකරණයේ ඇති වූ සමථය පරිදි වගඋත්තරකරුවන් මෙතෙක් කටයුතු කර නැතැයි පැවැසීය.

කරුණු සලකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණය, අධිකරණයේ ඇති වූ සමථය අනුව කටයුතු කර ඇත්දැයි යන්න පිළිබඳව ප්‍රගති වාර්තාවක් පෙත්සම් යළි කැඳවන 2025 පෙබරවාරි 27 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයාට දැනුම් දුන්නේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ අංසක චන්ද්‍රසේන මහතා සමග නීතිඥ නුවන් බෝපගේ මහතා පෙනී සිටියේය.වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් යුරේකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.
(රන්ජන් කටුගම්පොල)