hatton-incident

කොළඹ-කොටුව සිට බදුල්ල දක්වා ඉකුත් 04 වැනිදා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියේ ගමන් කළ ස්පාඤ්ඤ ජාතික කාන්තාවකට පොල්ලකින් පහරදී ඇයගේ අතෙහි තිබූ ජංගම දුරකථනය ඩැහැගත් සැකකරුවන් දෙදෙනකු වටවල පොලිසිය විසින් ඊයේ (5දා) අත්අඩංගුවට ගෙන හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරුවන් දෙදෙනා මේ මස 18 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට හැටන් මහෙස්ත්‍රාත් එම්. ෆරුක්ඩින් මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ වටවල පොලිස් වසමට අයත් රොසැල්ල සහ විග්ටන් වතුයායේ පදිංචි 23-26 වයස් කාණ්ඩයේ පසුවන සැකකරුවන් දෙදෙනෙකි.



කොළඹ-කොටුව සිට බදුල්ල දක්වා ධාවනය වූ උඩරට මැණිකේ දුම්රියෙන් ඇල්ල දුම්රිය ස්ථානය දක්වා ගමන් කර ඇති ස්පාඤ්ඤ ජාතික ඇල්පා මාරියා (36) වටවල, රොසැල්ල සහ හැටන් දුම්රිය ස්ථාන දෙක අතර ප්‍රදේශය සිය ජංගම දුරකථනයෙන් දුම්රියෙන් ‍ෙදාරටුවේ සිට වීඩියෝගත කරමින්

ගමන් කරන අවස්ථාවේ දුම්රිය මාර්ගයේ සිටි තරුණයන් දෙදෙනකු තමන්ගේ අතට පස්වරු 1.20ට පමණ පොල්ලකින් පහර දුන් බවත් එම අවස්ථාවේ තමාගේ අතෙහි තිබූ රු. ලක්ෂ පහක් පමණ වටිනා ජංගම දුරකථනය අතෙන් ගිලිහී වැටුණු බවත් පහර දීමෙන් තමන්ගේ හිසට තුවාල සිදු වූ බව ඇය විසින් ඇල්ල සංචාරක පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇත.

හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත දුම්රිය මාර්ගයේ සංචාරක මුරකරු විසින් ඒ සම්බන්ධයෙන් දැනුම් දීමෙන් පසු දුම්රිය ස්ථානාධිපතිවරයා විසින් ක්ෂණිකව වටවල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්දන ගමගේ මහතා වෙත දැනුම් දී ඇත.

සිද්ධය වාර්තා වූ වහාම ක්‍රියාත්මක වූ වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් විමර්ශනයක් සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් දියත් කර තිබියදී 04 වැනි දින රාත්‍රියේ පොලිස් මුර සංචාරයේ යෙදුණු පොලිස් නිලධාරීන්ට වටවල රොසැල්ල ප්‍රදේශයේදී තරුණයන්



දෙදෙනකු ගැන සැකසිතී පරීක්ෂා කිරීමේදී  එක් තරුණයකු සන්තකයේ වටිනා ජංගම දුරකථනයක් තිබී ඇති අතර එම ජංගම දුරකථනයේ අනන්‍යතාව තහවුරු කිරීමට එම තරුණයන් දෙදෙනා අසමත් වූ නිසා ඔවුන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී දුම්රියෙන් ගමන්ගත් විදේශීය කතකගෙන් ඩැහැගත් ජංගම දුරකථනයක් බවට තහවුරු වී ඇත.

පසුව වටවල පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් ඒ පිළිබඳව ඇල්ල සංචාරක පොලිසිය වෙත දැනුම් දීමෙන් පසු විදේශීය කාන්තාව 05 වැනි දින වටවල පොලිස් ස්ථානය වෙත පැමිණ සිය ජංගම දුරකථනය භාරගෙන පොලිසිය වෙත පවසා සිටියේ තම රටේ පොලිසියවත් මෙතරම් කඩනමින් ක්‍රියා

නොකරන බවත් ශ්‍රී ලංකා පොලිසිය වහාම ක්‍රියාත්මක වී තමාගේ නැති වූ ජංගම දුරකථනය සොයා දීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් සිය ස්තුතිය පුද කරන බවයි. ජංගම දුරකථනය පොලිසියෙන් භාරගත් විදේශීය කාන්තාව උඩවලව සංචාරය සඳහා ගියාය. වටවල පොලිසියේ ස්ථානාධිපති පොලිස්

පරීක්ෂක චන්දන ගමගේ මහතාගේ උපදෙස් පරිදි උ.පො.ප. චමිල, පො.සැ. හේරත් (71112), පො.සැ. නන්දසිරි (6605), පො.කො. සම්පත් (74247), පො.කො. දිනේෂ් (100815), පො.කො. ඉසිදු (103208), කා.පො.කො. කාවින්දි (10814) යන නිලධාරීහු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

නොර්වුඩ් – නීටා පත්ම කුමාරි