විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා අද (20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවක දී, ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ හිටපු නියෝජ්‍ය මහ කොමසාරිස්වරිය වන හිමාලි කරුණාතිලක මහත්මියට එරෙහිව ඔස්ට්‍රේලියානු අධිකරණයෙන් ලැබුණු තීන්දුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් සිදු කළේය.



අමාත්‍යවරයා අවධාරණය කළේ කරුණාතිලක මහත්මිය සිය සේවිකාවකට වැටුප් ගෙවීමේ දී කිසිදු වංචාවක් සිදු කර නොමැති බවයි. රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයින්ගේ සේවක වැටුප් ශ්‍රී ලංකා රජය විසින් ගෙවනු ලබන අතර, එම වැටුප් තලයන් සකස් කර ඇත්තේ මෙරට තත්ත්වයන්ට අනුකූලවය. මේ හේතුවෙන් එම වැටුප් ඔස්ට්‍රේලියාව හා යුරෝපීය රටවල් හා සාපේක්ෂව අඩු මට්ටමක පවතින බව ඔහු පැහැදිලි කළේය.

කෙසේ වෙතත්, අප්‍රිකානු රටවල් හා සංසන්දනය කිරීමේ දී ශ්‍රී ලංකාවේ වැටුප් තලය සාපේක්ෂව ඉහළ මට්ටමක පවතින බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මෙම තත්ත්වය රාජ්‍ය තාන්ත්‍රික සේවයේ නියුතු බොහෝ දෙනෙකුට බලපාන පොදු ගැටලුවක් බව ද ඔහු සඳහන් කළේය.



"හිමාලි කරුණාතිලක මහත්මිය කිසිදු වංචාවක් හෝ හොරකමක් සිදු කර නැත. නමුත් එරට නීතියට අනුව තමයි මෙම නඩු තීන්දුව ලබා දී තිබෙන්නේ. මෙය රජයක් වශයෙන් අප ප්‍රතිපත්තිමය තීරණයක් ගත යුතු කරුණක්," යැයි අමාත්‍යවරයා අවධාරණය කළේය.

වර්තමානයේ හිමාලි කරුණාතිලක මහත්මිය ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවේ නිත්‍ය නියෝජිතවරිය ලෙස සේවය කරමින් සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.