සෞඛ්‍ය අංශ විසින් මේ දිනවල දරුවන් අතර පැතිර යන ඉන්ෆ්ලුවෙන්සා රෝගය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර ඇත. ළමා රෝග විශේෂඥ වෛද්‍ය සංගමයේ මාධ්‍ය සම්බන්ධීකාරක වෛද්‍ය මහේෂ්ක විජයවර්ධන මහතා පවසන පරිදි මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණ වන්නේ උණ, සෙම්ප්‍රතිශ්‍යාව, හිසරදය, හොටු දියර ගැලීම, නාසය හිරවීම, මස්පිඩු හා සිරුරේ කැක්කුම, ඔක්කාරය, තෙහෙට්ටුව, ආහාර රුචිය අඩුවීම සහ උගුර වණවීම යි.
"මෙය සෘතුමය රෝගයකි. මාස කිහිපයකට පෙර රෝගීන් සංඛ්‍යාවේ වැඩිවීමක් පැවති නමුත්, දැන් එය ක්‍රමයෙන් අඩුවෙමින් පවතී," යැයි වෛද්‍ය විජයවර්ධන මහතා පැවසීය. රෝගය වැළැක්වීම සඳහා මුව ආවරණ පැළඳීම, නිතර අත් සේදීම සහ හොඳ සනීපාරක්ෂක පුරුදු පවත්වාගෙන යාම වැදගත් බව ඔහු අවධාරණය කළේය.
පාසල් සහ දිවා සුරැකුම් මධ්‍යස්ථාන රෝගය පැතිරීමේ ප්‍රධාන ස්ථාන ලෙස හඳුනාගෙන ඇති බැවින්, රෝග ලක්ෂණ පෙන්වන දරුවන් එම ස්ථානවලට නොයැවීමට දෙමාපියන් වගබලා ගත යුතු බවට උපදෙස් දී තිබේ.
මේ අතර, කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා සඳහන් කළේ ශ්‍රී ලංකාවේ මෙන්ම කොංගෝ ප්‍රජාතාන්ත්‍රික ජනරජයේද සමාන උණ රෝගයක් පැතිර යන බවයි. කෙසේ වෙතත්, ශ්‍රී ලංකාවේ පවතින්නේ සාමාන්‍ය උණ තත්ත්වයක් වන අතර, කොංගෝවේ දුෂ්කර ප්‍රදේශවල පැතිර යන රෝගය වඩාත් සංකීර්ණ බව ඔහු පෙන්වා දුන්නේය.
කොංගෝවේ පවතින රෝගය ශ්‍රී ලංකාවට පැමිණීමේ අවදානම ඉතා අඩු මට්ටමක පවතින බව වෛද්‍ය පෙරේරා මහතා තහවුරු කළේය. "අපි තත්ත්වය පිළිබඳව සැලකිලිමත් විය යුතු නමුත්, දැනට කලබල වීමට හේතුවක් නොමැත," යැයි ඔහු අවධාරණය කළේය.
0 Comments