ingiriya-incident

 ඉංගිරිය පොලීසිය විසින් වාර්තා කරන පරිදි, ඉංගිරිය ප්‍රදේශයේ පාසල් දෙකක අවුරුදු 16ක් වයස සිසුන් පිරිසක් කසිප්පු පානය කර මත්ව සිටි අවස්ථාවක ඊයේ (12) සවස අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් මත් ගතිය වැඩි සිසුන් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.



පොලීසියේ හදිසි ඇමතුම් අංශයට ලැබුණු තොරතුරකට අනුව, ඉංගිරිය ඇලබඩ පාරේ කටහය නාන තොටුපොළ අසල සිසු පිරිසක් මත්පැන් පානය කර මහ පාරේ නිදා සිටි බව වාර්තා විය.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සිදු කළ මෙහෙයුමේදී, කසිප්පු පැකට් පහක ඉතිරි තොගයක් සමඟ සිසුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉන් දෙදෙනෙකු මත් ගතිය වැඩි වීම හේතුවෙන් ඉංගිරිය රෝහලට ඇතුළත් කර තිබේ.

අත්අඩංගුවට ගත් තෙවන සිසුවාගෙන් සිදු කළ ප්‍රාථමික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ, මෙම සිසුන් ඊයේ (12) උදෑසන 'රෝද පුටුවා' යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයෙකුගේ බිරිඳගෙන් කසිප්පු පැකට් කිහිපයක් මිලදී ගෙන කටහය නාන තොටුපොළට ගොස් පානය කර ඇති බවයි.

නෑමට සූදානම් වූ අවස්ථාවේ සිසුන් දෙදෙනෙකුට කසිප්පු මත වැඩි වී මහ මාර්ගයේ නිදා ගෙන තිබේ.

පොලීසිය වැඩිදුරටත් පවසන්නේ "රෝද පුටුවා" ලෙස හඳුන්වන පුද්ගලයාගේ බිරිඳ අත්අඩංගුවට ගෙන ඇති බවයි. රෝද පුටුවා යනු ආරක්ෂක අංශයක සේවය කරමින් සිටියදී ආබාධිත වී දෙපා අහිමි වූ පුද්ගලයෙකු බවත්, ඔහු කාලයක සිට රෝද පුටුවේ සිට මෙම කසිප්පු ජාවාරමේ යෙදෙන බවට තොරතුරු ලැබී ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

ඉංගිරිය පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර, අත්අඩංගුවට ගත් සැකකාරිය හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.