royal-park-murder-jude

රාජගිරිය, රෝයල් පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටියදී ජනාධිපති සමාව දීමෙන් අනතුරුව රටින් පලා ගොස් සිටින ජූඩ් ශ්‍රාමන්ත ජයමහ නමැත්තා මේ වන විට රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සදහා අවශ්‍ය විමර්ශන ආරම්භ කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (19) දැනුම් දුන්නේය.එම වරදකරුට ජනාධිපති සමාව දීමට එරෙහිව ගොනුකළ පෙත්සමක් කැඳවූ අවස්ථාවේ දී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා මේ බව දන්වා සිටියේය.




ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි.එහිදී නීතිපතිවරයා වෙනුවෙන් මෝසමක් ඉදිරිපත් කරමින් රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම විත්තිකරු

රැඳී සිටින ස්ථානය අනාවරණය කර ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ආරම්භ කර ඇති බවය.


එසේම ඔහුගේ බැංකු ගිණුම් සම්බන්ධයෙන් විමර්ශනය කරන බවද එහිදී සඳහන් කෙරිණ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලු විනිසුරු මඩුල්ල එදින මෙම කටයුතුවල ප්‍රගතිය දැනුම් දෙන ලෙස රජයේ නීතිඥවරයාට නියම කළේය.කාන්තා මාධ්‍ය එකමුතුව විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය ජූඩ් ශාමන්ත නමැත්තාට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමාව ප්‍රදානය කළ

ආකාරය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවට මීට පෙර තීන්දු කළේය.ඒ අනුව එම ජනාධිපති සමාව බල රහිත කෙරිණි.


ඉන් අනතුරුව මෙම විත්තිකරු මෙරටට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගවල ප්‍රගතිය අධිකරණයට දැනුම් දෙන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නීතිපතිවරයාට නියම කර තිබිණි. ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන මහතා පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.
(රන්ජන් කටුගම්පොල)