පානදුර සිට මහනුවර බලා ධාවනය වූ මාර්ග අංක 17 පෞද්ගලික බස් රථයක රියැදුරකුට ඊයේ අලුයම තවත් බස් රථයක කොන්දොස්තරවරයකු පහර දීම නිසා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරකෑමට ලක්වූ බස් රථයේ රියැදුරා එම මාර්ගයේම ගමන් කරන අංක 17 දරන මීට කලින් පිටත් වූ බස් රථය ඉස්සරකොට

පැමිණියේ යැයි උරණ වූ අනිත් බස් රථයේ රියැදුරා කඩුවෙල නගරයේදී බස් රථය හරස් කර ඇති අතර කොන්දොස්තරවරයා රියැදුරුට පහරදී තිබේ. එසේ පහර දීමෙන් අනතුරුව ඔවුන් තමන්ගේ බස් රථය රැගෙන ගොස් ඇත.




පහර දීමෙන් බරපතළ තුවාල ලබා සිටි රියැදුරු එහි ගමන්ගත් මගීන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගතකර තිබේ. මෙම ගැටුම නිසා යනඑන මං නැති වූ මගී ජනතාව පැය තුනක් පමණ කඩුවෙල මංසන්ධියේ වෙනත් බස් එනතුරු රැඳී සිට ඇත්තේ බලවත් අපහසුතාවයෙනි.

කඩුවෙල පොලිසිය පහරදීමේ සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා තිබේ. සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ රියැදුරුට අතින් පයින් මෙන්ම කේබල් වයරයකින්ද පහර දුන් බවය.
( සුගත් ලියනගේ)