kandy-ct-scan-fairwell

දශක දෙකකට ආසන්න කාලයක් තිස්සේ ජීවිත ලක්ෂ ගණනක් බේරා ගැනීමට දායක වූ මහනුවර ජාතික රෝහලේ සී.ටී. ස්කෑන් යන්ත්‍රය සිය සේවා කාලය නිමා කරමින් සමුගන්නා අවස්ථාව පසුගියදා සනිටුහන් විය. 2006 වසරේ සිට අඛණ්ඩව දිවා රෑ නොබලා සිදුකළ සේවාව වෙනුවෙන් රෝහල් කාර්ය මණ්ඩලය විසින් සංවිධානය කරන ලද හද පිරි ගෞරවනීය සමුගැනීමකි.


මෙම යන්ත්‍රය සිය සේවා කාලය තුළ සී.ටී. ස්කෑන් පරීක්ෂණ ලක්ෂ 6කට අධික සංඛ්‍යාවක් සිදුකර ඇති බව රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. දිනකට පරීක්ෂණ 100ක් පමණ සිදුකළ මෙම යන්ත්‍රය, එකල මෙවැනි පහසුකම් තිබූ රෝහල් දෙක තුනෙන් එකක් වශයෙන් පළාත් හයක රෝගීන්ට සේවය සැපයීය.
විකිරණ අංශයේ ප්‍රධාන වෛද්‍ය සුගත් දිසානායක මහතාගේ අධීක්ෂණය යටතේ විකිරණ ශිල්පී තිස්ස තෙන්නකෝන් මහතා විසින් මෙම යන්ත්‍රය රැකබලාගනු ලැබීය. රෝග නිශ්චය කිරීමේදී පමණක් නොව, වෛද්‍ය පුහුණුව ලබාදීමේදීද මෙම යන්ත්‍රය අතිශය වැදගත් කාර්යභාරයක් ඉටුකර ඇති අතර, එහි මූලික පුහුණුව ලැබූ බොහෝ වෛද්‍යවරු අද ලෝකය පුරා විශේෂඥයින් ලෙස සේවය කරති.


සමුගැනීමේ උත්සවයේදී කාර්ය මණ්ඩලය විසින් යන්ත්‍රය වෙත පුෂ්පෝපහාර දැක්වූ අයුරු විශේෂ සංවේදී අවස්ථාවක් විය. වෙනදා රෝගී සිරුරු වලින් වැසී ගිය යන්ත්‍රය මෙදින මල්වලින් සැරසී තිබුණි. විශේෂඥ වෛද්‍ය ගංගානාත් රුද්‍රිගෝ මහතා පෙන්වා දුන් පරිදි, මෙවැනි උත්කර්ෂවත් සමුගැනීමක් මගින් කෘතවේදී සමාජයක් ගොඩනැගීමට යම් දායකත්වයක් සැපයේ.
වසර පහකට පෙර ස්ථාපිත කරන ලද නව සී.ටී. ස්කෑන් යන්ත්‍රය සමඟ සිය සේවා කාලය නිමා කළ මෙම යන්ත්‍රය, කෘතවේදීත්වය නොහඳුනන වර්තමාන සමාජයට කදිම පාඩමක් උගන්වමින් සමුගත්තේය.