kegalle-gurugoda-incident

මිතුරියකගේ උපන් දිනයේ කෑගල්ල ගුරුගොඩ ඔයේ පෙරේදා 29 වැනිදා සවස දිය නෑමට ගිය ශිෂ්‍යාවක ඔයේ වළකට වැටී මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.පාසල් ශිෂ්‍යාවන් සිවු දෙනකු ඇතුළු හය දෙනකු දිය නෑමට ගොස් ඇති අතර ඔයට බැසීමේ දී සිසුවියක ඔයේ වළක වැටී ඇතැයි කියයි.


මිතුරිය බේරා ගැනීමට ඔයේ සිටි එක් මිතුරියක වළට පැනීමෙන් පසු ඔයේ සිටි තවත් සිසුවියක ද අසල්වාසීන්ට කෑගසමින් අනෙක් දෙදෙනා බේරා ගැනීමට වළට පැනීමත් සමග අසල්වාසීන් පැමිණ දෙදෙනකු බේරා ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.අනෙක් සිසුවිය පසුව හමු වී ඇති අතර ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මිය ගොස් ඇති බව පොලිසිය පැවැසීය. මියගොස් ඇත්තේ කෑගල්ල කෙහෙල්වත්ත මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කෙටලදෙණිය, වතුර ලිපිනයේ 15 හැවිරිදි සඳලි ගිතාංජලි කුමාරි නැමැති පාසල් ශිෂ්‍යාවකි.


ඇයගේ උපන් දිනය ඊයේ 30 වැනිදාට යෙදී තිබූ බව පොලිසිය පැවැසීය.මියගිය පාසල් ශිවගේ මිතුරියක මොරොන්තොට හපුවිට පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ඇගේ උපන් දිනය පෙරේදා 29 වැනිදාට යෙදී ඇති බවත් පොලිසිය පැවැසීය.

පාසල් ශිෂ්‍යාවන් සිව්දෙනා 24 හැවිරිදි තරුණියක හා වයස අවුරුදු 08 ක පිරිමි දරුවකු සමග හය දෙනකු පෙරේදා 29 වැනිදා දහවල් හපුවිට පල්ලේගම ප්‍රදේශයෙන් ගලා බසින ගුරුගොඩඔයේ දිය නෑමට ගොස් ඇත.


තිදෙනකු දිය නෑමට ඔයට බැස ඇති අතර සෙසු තිදෙනා ඔය ආසන්නයේ සිට ඇති බවත් පොලිසිය පැවැසීය.මියගොස් ඇති පාසල් ශිෂ්‍යාව ටිකෙන් ටික ගැඹුරු ප්‍රදේශයේ තිබුණු වළකට ඇදී ගොස් ඇති බවත් වළට ගිය මිතුරිය බේරා ගැනීමට දිය නාමින් සිට ඇතැයි කියන තවත් පාසල් ශිෂ්‍යාවක හා ගොඩ සිට ඇතැයි කියන 24 හැවිරිදි තරුණිය ද කෑ ගසා වළට ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.


මිය ගිය පාසල් ශිෂ්‍යයාවගේ හදිසි මරණ පරීක්ෂණය කෑගල්ල හදිසි මරණ පරික්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී ඊයේ 30 වැනිදා පැවැති අවස්ථාවේ දී පියා වන උපාසක රාළලාගේ නිහාල් කියා සිටියේ තමන්ට ගැහැනු දරුවන් තිදෙනකු සිටින බවත් වැඩිමහල් දියණිය පෙර පාසල් ගුරුවරියක බවත්ය. දෙවැනි දියණිය විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන බවත් මිය ගිය බාල දියණියගේ උපන් දිනය ඊයේ 30 වැනිදාට යෙදී තිබුණු බවත්ය. දියණිය සිසු නායිකාවක බව ද පියා පැවැසීය.කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ 30 වැනිදා දහවල් පවත්වනු ලැබීය.
(චමින්ද වැවතැන්න)