kelum-jayasumana-remanded

උතුරු ප්‍රදේශයේ මහවිරු සැමරුම් උත්සව පැවති බවට අසත්‍ය තොරතුරු පළ කිරිමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයකු වන කැළුම් ජයසුමන ලබන මස 04 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
මොහු පසුගිය මහමැතිවරණයේදී සිලින්ඩරය ලකුණින් තරගකළ අපේක්ෂකයෙකුද වේ.



 එල්.ටී.ටී.ඊ මහවිරු දින උත්සව සැමරුම් ප්‍රචාර සිදු කරමින් මහජනයා නොසන්සුන් කිරීම සම්බන්ධව මීට අමතරව  සැකකරුවන් තිදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් අවුරුදු 28, 35 හා 45 වයස්වල පසුවන මරදාන, චුන්නාකම් හා බද්දේගම ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන් දිවයිනේ තහනම් සංවිධානයක් වන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වන වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ රුව සහිත ජායාරූප හා වීඩියෝපට ෆේස්බුක් සමාජ ජාලා ගිණුමක් මගින් සංසරණය කිරීම මෙන්ම මීට පෙර වර්ෂයන්වලදී එල්.ටී.ටී.ඊ සංවිධානයේ මහාවිරු සැමරුම්වලදී ලබාගත් පැරණි වීඩියෝපට මෙම වර්ෂයේ සිදුකරන ලද සැමරුම් ලෙස හුවා දක්වමින් ෆේස්බුක් සමාජ මාධ්‍යජාලයේ සංසරණය කිරීම යන චෝදනාවන් ඔවුන්ට එල්ල වී තිබෙයි.



මහජන විරුද්ධත්වය ඇවිස්සීම හා ඇවිස්සීමට තැත් කිරීම සහ තහනම් සංවිධානයක ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය වන පරිදි අසත්‍ය දැන්වීම් හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයේ ෆේස්බුක් මගින් ප්‍රචාරණය කිරීම යන හේතු මත දණ්ඩ නීති සංග්‍රහයේ 120 සහ 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විධිවිධාන පනතේ 27 වන වගන්තිය ප්‍රකාරව අත්අඩංගුවට ගෙන තිබෙයි.