kirulapone-dharma-vijaya-thera-usa

කිරුළපන ධම්මවිජය හිමියන් පසුගිය කාලයේ ජනප්‍රිය වූ ‍ධර්ම දේශක හිමි නමකි. මනා වූ අභිධර්ම ඥාණයකින් දේශනා කළ සුමධුර ධර්මය මෙන්ම චරිතාදර්ශී තරුණ භික්ෂුන් වහන්සේ නමක් ලෙස හිමියෝ ප්‍රකටව සිටියහ.
නමුත් එහිමියන්ගේ අනුගාමිකයින් අපේක්ෂා නොකළ පුවතක් දැන් වාර්තාවී තිබේ. මෙරට සියලු ධාර්මික කටයුතු වලින් ඉවත්වී ඇමරිකාව බලා යන බවට එහිමියන් සමාජ මාධ්‍ය තුළින් සිය අනුගාමිකයින්ට දන්වා ඇත්තේ ගුවන් ටිකට්පත්වල ඡායාරූපයක්ද සමගිනි. (වාර්තාවන අන්දමට දැනටමත් ගොස්ය)
"භික්ෂුවක් ලෙස ලංකාද්වීපයෙහි සිදු කළ ධර්ම දූත සේවාවෙන් සහ ධර්ම ප්‍රචාරක කටයුතු වලින් මින් මතු සදහටම සමුගනිමි" යනුවෙන් එහි දැක්විණි.
ස්වාමීන් වහන්සේ ඉප දී ඇත්තේ කිරුළපන දී ය. නුගේගොඩ ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ගිහි කළ අධ්‍යාපනය හදාරා ඇති ගරු ස්වාමීන් වහන්සේ එකල ශිෂ්‍යභට කණ්ඩායම්වල යෙදී සිටි දක්ෂ සිසුවෙක් විය. වයස අවු: 18 වන විටම ශ්‍රී ලංකා යුධ හමුදාවේ විශේෂ රෙජිමේන්තුවක විශේෂ සෙ⁣බලෙක් ලෙස වසර තුනකට අධික කාලයක් රාජකාරී සිදු කර ඇත. “සෑම අතින්ම අතිශූර සෙබලා, දක්ෂතම වෙඩික්කරු වැනි” සෙබලෙක් විසින් ලැබිය යුතු විශේෂම සම්මාන වලින් පිදුම් ලැබුවෙකි.


පරිගණක තාක්ෂණය පිළිබඳ විදේශගත පුහුණුවද ලබා ඇත.
පැවිදි දිවියට පත්ව ඇත්තේ 2015 වසරේ දී ය. එවිට උන්වහන්සේ අවුරුදු 22ක් වන යොවුන් වියේ තරුණයෙකි. පුදුමයට කරුණ නම් පැවිදී වී මාස හතරක් වැනි කෙටි කළක් තුළ රාමඤ්ඤ මහා නිකායෙන් පිරිනමන “අභිධර්මාචාර්ය” විභාගය උන්වහන්සේ විශිෂ්ට ලෙස සමත් වන්නේ ලංකාදීපයේම පළමුවැනි ස්ථානයත් ලබා ගනිමින් ය.
2016 වසරේ දී විනයාචාර්ය උපාධියත්, 2017 වසරේ සද්ධර්මාචාර්ය උපාධියත් පෙර ලෙසම ප්‍රථමස්ථාන සනිටුහන් කරමින් විශිෂ්ට ලෙස සමත් වන උන්වහන්සේ 2017 වසර අවසන් වන විට ත්‍රිපිටකය පිළිබඳවම වූ ආචාර්ය උපාධියන් සම්පූර්ණ කිරීම නිසා ත්‍රිපිටකාචාර්ය යන උපාධියෙන් පිදුම් ලබා ඇත.
2018 වසරේ අභිධර්ම විශාරද උපාධියද ලබමින් ඒ වන විටත් පාලි, හින්දි, ඉංග්‍රීසි, සිංහල හා සංස්කෘත භාෂා පිළිබඳවද මනා වූ අවබෝධයක් ඇති කරගෙන ඇත.
 මහව ඉහළගම ගල්ලෑව වෙහෙරින් පැවිද්දට පත්ව, කුරුණෑගල දොඩම්තලාව ධම්මගිරි අරණ්‍ය සේනාසනය තුල මුල් කාල වකවානුව තුළ හික් මී පසුව උන්වහන්සේ එළියට එන්නේ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පුල්මුඩේ පැත්⁣තෙහි ඇති ඝණ වනයකිනි.


සුජාත පුත්‍ර හා සුජාත දියණී නමින් භාවනා මධ්‍යස්ථාන පිහිටුවීමටද උන් වහන්සේ මුල් විය.
පසුගිය කාලයේ දේශපාලන මතවාද සමග ගැටෙමින් යූටියුබ් ඇතුළු සමාජ මාධ්‍ය තුළ විවිධ කථිකාවන් ඇති කර තිබුණි.පසුගිය ආණ්ඩු විරෝධී සමයේ විරෝධතා දක්වන පිරිසට සහ ජනතා විමුක්ති පෙරමුණට එරෙහිව දිගින් දිගටම ධම්මවිජය හිමි විවේචන එක්කර තිබුණි.

31 හැවිරිදි කිරුළපන ධම්මවිජය හිමියන් මේ වනවිටත් අමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව ගොස් ඇති බවට තොරතුරු වාර්තාවන අතර හිමියන් සිවුරු හැර ගොස් ඇතිදැයි පැහැදිලි නැත.
යන්නට පෙර  දීර්ඝ සටහනක් තබා ඇති අතර  සිය සටහනේ අවසාන වරට තමන්ව ආමන්ත්‍රණය කරගෙන ඇත්තේ  ” ධම්මවිජය ආයුෂ්මතුන් වහන්සේ” යනුවෙනි.