kos-malli-dehiwala

විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය  ජාවාරම සහ සංවිධානාත්මක  අපරාධ  මෙහෙයවන කොස් මල්ලි” නැමැත්තාගේ සමීපතම සාමාජිකයකු රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය කියයි. සැකකරු සන්තකයේ තිබී හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 50ක් පොලිස් බාරයට ගෙන ඇත.




දෙහිවල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අසේල ප්‍රසාද් සෙනෙවිරත්නමහතා  ඇතුළු පොලිස් නිලධාරින් පිරිසක් දෙහිවල කඩවත පාර ප්‍රදේශයේ අපරාධ වැළැක්වීමේ රාජකාරී නිරතව සිටියදී සැකපිට මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබූ බව පොලිසිය කියයි. සැකකරු දැඩි ලෙස පරීක්ෂා කිරීමේ දී හැඳ සිටි කලිසමේ සාක්කුවේ සඟවාගෙන සිටි මෙම මත්කුඩු තොගය සොයාගැනීමට හැකිවූ බව පොලිසිය පවසයි.


ඉකුත් මාස කිපය තුළ කොස් මල්ලි" නැමැති පාර්ශවය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සංවිධානාත්මක අපරාධකරුවකු වන අසංක නැමැත්තාගේ පාර්ශවයේ කල්ලි දෙක අතර සිදුවූ වෙඩි තබා ගැනීම්වලින් පුද්ගලයන් දෙනකු මරුමුවට පත්වූ අතර

ඒ හේතුවෙන් දෙපාර්ශවයේම සාමාජිකයන් ඉතා රහසිගතව මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකරන බව බුද්ධි අංශ මගින් වාර්තා වී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල නැදිමාල පදිංචි 23 හැවිරිදි පුද්ගලයකු වන අතර මීට පෙරදි අවස්ථා කිහිපයක දී මත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත් වූවෙකු බව උසස් පොලිස් නිලධාරියකු වැඩිදුරටත් පැවසීය.
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)