මාතලේ ලග්ගල ප්රදේශයේ දී හය කෝටියකට වඩා වටිනාකමින් යුත් මැණික් ගල්, රත්තරං හා මුදල් සොරා ගැනීමේ සිද්ධියකට භාවිත කරන ලද කේ.ඩී. එච්. වර්ගයේ වෑන් රථයක් පොල්පිතිගම පොලිස් වසමෙන් සොයාගත් බව ලග්ගල පොලීසිය කියයි.ගිනි අවි රැගත් කණ්ඩායමක් එක්ව ලග්ගල පොලිස් වසමේ නිවසකට බලහත් කාරයෙන් ඇතුල් වී
නිවැසියන් බිය ගන්වා නිවසේ තිබූ මැණික් ගල්, ස්වර්ණාභරණ හා මුදල් සොරා ගත් බවට හා ඒවායේ මුළු වටිනාකම හය කෝටි විසිහත් ලක්ෂ හැට දාහක් බවට පැමිණිල්ලක් මීට පෙර ලග්ගල පොලිස් ස්ථානය වෙත ලැබී තිබුණි.
එහි විමර්ශන කටයුතු සිදු කරන අතරවාරයේ දී එම අපරාධයට මෙම වෑන් රථය සම්බන්ධ බවට පොල්පිතිගම පොලිස් ස්ථානයේ විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට පුද්ගලික ඔත්තුකරුවන් මගින් දැන ගැනීමට හැකිවී තිබේ. ඒ අනුව ඔවුන් ලග්ගල පොලීසියේ පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව ලග්ගල සිට පොලිස් කණ්ඩායමක් 30 දා රාත්රියේ දී පොල්පිතිගම මාඑළිය ප්රදේශයට පැමිණ එකී වෑන් රථය අත් අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.
වාහනයේ මුල් අයිතිකරු සතු එය මේ වනවිට වෙනත් අයෙකුට විකුණා ඇති බැවින් එම වාහනය දැනට භාවිත කරන තැනැත්තා අත් අඩංගුවට ගෙන ප්රශ්න කිමේදි අපරාධය කළ ආකාරය හා මැණික් ගල් කොටස් හතකට පමණ කැපු ආකාරය සැකකරු හෙළි කළ බව පොලීසිය පැවසීය.එම කැපු මැණික් ගල්වලින් කොටසක් සැකකරුවන් මේ වනවිට අලෙවි කර තිබේ. ඉතිරි මැණික් ගල්, ස්වර්ණාභරණ හා මුදලින් කොටසක්ද මේ වනවිට සොයා ගැනීමට හැකි වී ඇතැයි පොලීසිය කියයි.
අපරාධය සැලසුම් කළ බව කියන කුරුණෑගල ප්රදේශයේ පන්සලක වීවරධාරියෙකු, වාහනයේ රියැදුරු හා පොල්පිතිගම, මාතලේ, ලග්ගල හා කුරුණෑගල පදිංචිකරුවන් දස දෙනෙකු මේ වනවිට අත් අඩංගුවට ගෙන ඇති බවද පොලීසිය සඳහන් කළේය.
( සිසිර කැලේගම)
0 Comments