mahara-prison-incident

2020 වසරේ මහර බන්ධනාගාරයේ ඇතිවූ ගැටුම්වලින් සිරකරුවන් මරණයට පත්වීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව නඩු පවරන ලෙස නීතිපතිවරයාට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනුකර ඇති පෙත්සම සලකා බැලීමට ලබන මාර්තු මස 17 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.




අදාළ ගැටුමේදී මියගිය සිරකරුවකු වන සම්පත් පුෂ්ප කුමාර නමැත්තාගේ බිරිඳ වන මහනුවර වසන්ති නමැත්තිය ගොනුකර තිබූ පෙත්සම කැඳවූ අවස්ථාවේදී අභියාචනාධිකරණයෙන් මෙසේ නියෝග කෙරිණි.පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස වැලිසර මහේස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කර ඇතැයි පැවසීය.


ඒ අනුව කටයුතු කරමින් සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ඉදිරිපත් කරන බවට නීතිපතිවරයා මීට පෙර අධිකරණයට දැනුම් දී තිබූ බවත් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ඝානෙක විජේසිංහ මහතා සඳහන් කළේ ම

ෙම සිද්ධියට අදාළ සැකකරුවන් හඳුනාගැනීමට අපහසු තත්වයක් තිබෙන හෙයින් මීට අදාළ නඩුව ඉදිරියට පවත්වා ගෙන නොයාමට නීතිපතිවරයා තීරණය කර ඇති බවයි.


මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් දැඩි විරෝධය පළ කළ පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා සඳහන් කළේ මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන්ට එරෙහිව නඩු පැවරීමට පියවර ගන්නා බවට නීතිපතිවරයා මීට පෙර  දැනුම් දී තිබූ බවත් දැන් ඒ සම්බන්ධයෙන් කටයුතු කළ නොහැකි බව පැවසීම පිළිගත නොහැකි බවත්ය.නීතිපතිවරයාට මේ ආකාරයෙන් ස්ථාවර දෙකක් දැරීමට හැකියාවක් නොමැති බවත් මෙම පෙත්සම කරුණු තහවරු කිරිම සඳහා දිනයක් දෙන ලෙසත් නීතිඥ ලක්ෂාන් ඩයස් මහතා ඉල්ලා සිටියේය.ඒ අනුව අදාල පෙත්සම කරුණු තහවුරු කිරිම සඳහා මාර්තු මස 17 වනදා කැඳවන ලෙස ද අධිකරණය නියෝගය කළේය.
( රන්ජන් කටුගම්පොල)