මෙරට රිළවු චීනයට යැවීමේ ඉඩකඩ තවමත් පවතින බවත්,පසුගිය රජය කාලයේදී රිළවුන් චීනයට යැවීමට උත්සාහ කළ අවස්ථාවේදී මාලිමාවේ නායකයන්ද ඊට විරුද්ධ වූ බවත් හිටපු කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර පැවසීය.
ප්රශ්නය තමන්ට බලපාන තෙක්, ඊට ලබාදෙන උත්තර දාර්ශනිකයි කියලා කියන්නා වගේ සිය වැඩ පිළිවෙළ විවේචනය කළ මාලිමා නායකයන්ටම අද රිළා ප්රශ්නය පාරාවළල්ලක් වී ඇතැයි ද හිටපු ඇමැතිවරයා පැවසුවේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු ඇමැතිවරයා,
“රිළවුන්ගෙන් පොල් වගාවට සිදුවෙන වගා හානි මෙන්ම අනෙකුත් සතුන්ගෙන් සිදුවන වගා හානි සම්බන්ධව මුල්වරට රටට හෙළි කළේ අපි. මේ සම්බන්ධව ලොකු සමීක්ෂණයක් ද සිදු කළා. ඒ අනුව රිළවු, දඬුලේනුන් විසින් වසරකට පොල්ගෙඩි මිලියන 250- 300 අතර ප්‍රමාණයක් කා විනාශ කරන බව හෙළි වුණා.
අප රටේ රිළා ගහනය වැඩියි. මේ නිසා චීනයේ නියෝජිත පිරිසක් සමග මම තුන් වතාවක් සාකච්ඡා කළා. චීනයේ සත්වෝද්‍යාන දහස් ගණනක් තිබෙනවා. මෙම සත්වෝද්‍යානවලට රිළවුන් ලක්ෂයක් මුල් අදියර යටතේ ලබා දීමයි අපේ අරමුණ වුණේ.
නමුත් පරිසර සංවිධාන කිහිපයක් එක්ව චීනය රිළවු ගෙනියන්න හදන්නේ රිළවුන්ගේ මොළය කන්න කියලා බොරු ප්‍රචාරයක් ප්‍රචලිත කළා. ඒ විතරක් නොව මට නඩුත් දැම්මා. අද මාලිමාවේ නායකයොත් එදා ඒ වැඩපිළිවෙළට විරුද්ධව කතා කළා.
නමුත් අද රටේ විශාල පොල් හිඟයක් තියෙනවා. රිළා ගහනය අවම කර ගත්තොත් පොල් අස්වැන්න වැඩි කරගන්න පුළුවන්.
ඒ වගේම චීනයට තවමත් රිළවුන් යැවීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්න අවස්ථාව තියෙනවා. මම රජයෙන් ඉල්ලීමක් කරනවා මම ආරම්භ කළ ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන ලෙස.
මම පරිසර සංවිධාන නියෝජිතයන් සමග සාකච්ඡා කළා. වගා හානි වළක්වා ගැනීමට ඔවුන්ගේ අදහස් හා යෝජනා ඉල්ලුවා. වගාවන් වටේ සාරි එල්ලීම, පොල්ගස්වලට තහඩු ගැසීම, වගාවෙන් අක්කර භාගයක් වන සතුන්ට වෙන්කිරීම වැනි ප්‍රායෝගික නොවන යෝජනා රැසක් ඔවුන් ඉදිරිපත් කළා.
නමුත් එදා අපේ රටේ රිළවු ලක්ෂයක් චීනයට ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කළා නම් වගා හානි යම් තරමකට අඩු කරගන්න තිබුණා.’’ යැයිද හිටපු ඇමැතිවරයා පැවසුවේය.
0 Comments