mahindananda-speaks

 ස.තො.ස.ආයතනයට ගෙන්වු කැරම්බෝඩ් සහ දාම්බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට ඛෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩුවක් කළ බවට තමන්ට එරෙහිව නඩු පවරා ඇත්තේ දේශපාලන පලි ගැනීමක් නිසා යැයි කොළඹ විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පැවසූ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා මෙම චෝදනාවන්ට තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි ද ඊයේ (02) පැවසීය.


විත්තිකූඩුවේ සිට ප්‍රකාශයක් කරමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා එසේ පැවසීමෙන් අනතුරුව විත්තියේ සාක්කි විභාගය අවසන් කෙරිණි.මහාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රදීප් හෙට්ටිආරච්චි (සභාපති), ප්‍රදීප් අබේරත්න සහ මහේෂ් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ නඩුව විභාග කෙරේ.



2014 සැප්තැම්බර් මස පළමුවැනිදාත් 2014 දෙසැම්බර් මස 31 වැනිදාත් අතර කාලයේ කොළඹදී සතොස ආයතනයට ගෙන්වූ කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතුවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදා දී රජයට රුපියල් මිලියන 53 කට අධික පාඩුවක් සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව චෝදනා හයක් යටතේ නඩු පවරා ඇත.


මෙම සිද්ධියට අදාළව ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ නඩු පැවැරීම සඳහා අගවිනිසුරුවරයාගේ අනුමැතිය ලැබීම නිසා හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව මෙන්ම සතොස හිටපු සභාපති හිටපු වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත.



නඩුව සම්බන්ධයෙන් සාක්කි මෙහෙයවා පැමිණිල්ලේ නඩුව අවසන් වීමෙන් අනතුරුව මීට පෙර අවස්ථාවක විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා සහ නීතීඥ කංචන රත්වත්තේ මහතා කරුණු දක්වමින් පැමිණිල්ල විසින් තම සේවාදායකයන්ට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්තියේ සාක්කි නොකැඳවාම තම සේවාදායකයත් නිදොස් කර නිදහස් කරන්නැයි ඉල්ලා සිටියහ.


විත්තියේ නීතීඥවරුන් කළ ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව විත්තියේ සාක්කි කැඳවීමට තරම් ප්‍රමාණවත් නඩුවක් පැමිණිලි පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇතැයි තීරණය කළ විනිසුරු මඩුල්ල විත්තියේ සාක්කි විභාග කිරීමට තීරණය කළේය.ඒ අනුව නඩුව කැඳවු අවස්ථාවේදී විත්තිකර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් නඩුවට පාදක වූ සිද්ධිය වූ 2014 වසරේදී ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල්වරිය වශයෙන් කටයුතු කළ රන්ජනී ජයකොඩි මහත්මිය සාක්කි දුන්නාය.


විත්තිකාර හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා විත්ති කූඩුවේ සිට ප්‍රකාශයක් දෙමින් තමන්ට එරෙහිව මෙම නඩුව පවරා ඇත්තේ දේශපාලන පලිගැනීමක් නිසා බවත් අදාළ චෝදනාවන්ට තමන්ගේ කිසිඳු සම්බන්ධයක් නැති බවත් පැවසීය.යහපාලන රජය සමයේ තමන්ට එරෙහිව අභූත චෝදනා මත මෙම නඩුව පවරා ඇති බවත් මෙම නඩුවෙන් තමා නිදොස් කර නිදහස් කරන්නයි ඉල්ලා සිටියේය.




විත්තියේ සාක්කි විභාගය ඉන් අවසන් කළ අතර විත්තිකරුට ප්‍රතිකාර ගැනීම සඳහා තායිලන්තයට යෑමට අවසර දෙන්නැයි විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශානක රණසිංහ මහතා කළ ඉල්ලීමට අවසර දෙමින් විත්තිකකරුට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කළ විනිසුරු මඩුල්ල යතුරු ලියන දෝෂ නිවැරැදි කිරිම සඳහා නඩුව ලබන 19 වැනිදා කැඳවීමට නියම කළේය.
( මනෝප්‍රිය ගුණසේකර)