maligawatte-incident

සිය විවාහක පුතුට පිහියක් වැනි ආයුධයකින් ඇන බරපතළ තුවාල සිදුකළ බව කියන මත්ද්‍රව්‍ය භාවිතයට තදින් ඇබ්බැහිවූ පියකු ජනවාරි මස 01 දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් මංජුල රත්නායක මහතා ඉකුත් 23දා නියෝග කළේය. මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි අබ්දුල් අසීස් මොහොමඩ් නමැත්තකු එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් අධිකරණ නියෝග මත පෙර අවස්ථාවකදී පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් වෙත යොමු කර ඇති සැකකාර පුද්ගලයා අදාළ පුනරුත්ථාපන ක්‍රියාවලියෙන් පසු නැවත නිවෙසට පැමිණි අවස්ථාවක මෙම පහරදීම සිදුකර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.



සිද්ධියෙන් බරපතළ තුවාල ලත් විවාහක පුතා මාලිගාවත්ත ජුම්මා පාර ප්‍රදේශයේ එළවළු විකිණීමේ ව්‍යාපාරයක් කරගෙන යන බවත්  සැකකාර පියා හා එම පුතා ඉකුත් 21 දින අලුයම 5.30ට පමණ එම එළවළු ව්‍යාපාරික ස්ථානයට ගිය අවස්ථාවකදී පියා විසින් එම ස්ථානයේ තිබූ පිහියක් වැනි තියුණු ආයුධයකින් සිය පුතාට ඇන බරපතළ තුවාල සිදුකර ඇති බවද පොලිසිය අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලත් පුතා රුධිරය වැගිරෙමින් තිබියදී නිවෙස වෙත දිව ගොස් ‘තාත්තා මට පිහියෙන් ඇන්නා’ යනුවෙන් නිවැසියන්ට පවසා ඇති බවද පසුව නිවැසියන් විසින් ඔහුව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ප්‍රතිකාර සඳහා දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බවද පොලිසිය අධිකරණයට දැන්වීය.



බරපතළ තුවාල ලත් පුතා අසාධ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට හැකියාවක් නොතිබූ බවද පැවැසූ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ මෙම පුද්ගලයා තදින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු නිසා නිරන්තරයෙන් එම නිවෙස තුළ ගැටුම් ඇති කරගෙන ඇති බවට කරුණු අනාවරණය වන බවය.

සිද්ධියෙන් බරපතළ තුවාල ලත් පුද්ගලයාගේ සහෝදරියක් විසින් මුල්ලේරියාව පොලිසිය වෙත කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිසිය දැක්වූ කරුණු සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්වරයා සැකකාර පුද්ගලයා ලබන ජනවාරි මස 1 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසට නියෝග කළේය.

කුමුදු උපුල් ශාන්ත