malwathuhiripitiya-incident

අවුරුදු 16ක් වයස පාසල් සිසුවකු පදවාගෙන ආ යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු පදවාගෙන ගිය යතුරුපැදියක හප්පා අනතුරක් කිරීමේ සිද්ධියක බාල වයස්කාර සිසුවාට යතුරුපැදිය දුන් සිසුවාගේ මවට එරෙහිව රථවාහන අණ පනත් යටතේ අධිකරණයේ නඩු පැවැරීමට මල්වතුහිරිපිටිය පොලිසිය කටයුතු යොදාගෙන යයි.මෙම අනතුරෙන් පොලිස් පරික්ෂකවරයකු සහ ඔහුගේ බිරිය තුවාල ලබා ඇති අතර, බාල වයස්කාර සිසුවා ගම්පහ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කියයි.




බාල වයස්කාර සිසුවකුට පැදගෙන යාමට යතුරුපැදියක් ලබා දීම නීතියට පටහැනි ක්‍රියාවක් බව පොලිසිය ත්‍වසයි. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයාගේ අතකට සහ එක් පාදයකට බරපතළ තුවාල සිදු වී ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ සැරයන්වරියක ලෙස සේවය කරන ඔහුගේ බිරියගේ ද එක් පාදයකට තුවාල සිදු වී ඇති බවත් පොලිසිය කියයි. යතුරුපැදිය පදවාගෙන ආ දහසය හැවිරිදි පාසල් සිසුවා ද මෙහිදී තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගෙන තිබිණි.

මෙම බාල වයස්කාර සිසුවා පදවාගෙන ගිය යතුරුපැදිය පොලිස් පරීක්ෂකවරයා පදවාගෙන ගිය යතුරුපැදියේ ද හප්පා, පසුව ත්‍රිරෝද රථයක ද හප්පා තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි.


බාල වයස්කාර සිසුවා යතුරුපැදිය අධික වේගයෙන් පදවාගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි. මල්වතුහිරිපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ මහතාගේ මෙහෙයුම යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යති.
(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)