matale-sudu-river-incident

මාතලේ සුදු ගඟ හරහා ඉදිකර ඇති කිවුල ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට ගිය එහි සේවය කළ තරුණයන් දෙදෙනකු ගඟට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ ඔවුන්ගේ මෘත ශරීර පෙරේදා (28) ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බව කන්දෙනුවර පොලිසිය කියයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ,



මෙම ජල පවිත්‍රාගාරය පිහිටි මාතලේ කිවුල ප්‍රදේශයේම පදිංචි මීගහගේ දොන් චාතක මදුවන්ක (23) තරුණයා හා කලක් නාවික හමුදාවේ සේවයේ නියුතුව සිට එයින් ඉවත්ව මෙහි සේවයට බැඳුණු මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි මේනක මධුසංක අබේසිංහ (23) යන අවිවාහක තරුණයන් දෙදෙනාය.


කොන්ත්‍රාත් පදනම මත මෙහි සේවය අදාළ තරුණයන් දෙදෙනා ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරිමට යාමේදී එක් තරුණයකු ලිස්සා ගඟට වැටී ඇති අතර, ගඟට වැටුණු මිතුරා බේරා ගැනීමට අනෙක් තරුණයා ද ගඟට පැන ඔහු බේරා ගැනීමට

උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනා ජල පහරට හසු වී ගසා ගෙන යන්නට ඇති බවට කන්දෙනුවර පොලිසිය සැක කරයි.


මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග සුදු ගඟෙහි විශාල ජලයක් පැමිණෙන අතර, මොවුන් දෙදෙනා ගඟට වැටී ගසාගෙන යෑම හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයෙන් සුදු ගඟට පැමිණෙන ජලය වසා දමා ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව අනතුරට පත් වූ තරුණයන් දෙදෙනාගේ වෘත ශරීර සොයා පැය ගණනක මෙහෙයුමක් සිදු කර මොවුන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනීමට ප්‍රදේශවාසීහු සමත්ව සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු කන්දෙනුවර පොලිසිය සිදු කරයි.