මට්ටක්කුලිය ප්රදේශයේ සුපිරි තට්ටු නිවාස සංකීර්ණයක් ඉදිකර නිවාස ඒකක ලබාදෙන බවට පොරොන්දු වී පුද්ගලයන් 498 දෙනකුගෙන් රුපියල් කෝටි 20 කට අධික මුදල් වංචා කිරීම ඇතුළු චෝදනා යටතේ පුද්ගලික සමාගම් කළමනාකාර අධ්යක්ෂවරයකු හා වෙළෙඳ ප්රචාරක නිලධාරි දිගින් දිගටම බොරු පොරොන්දු ලබා දෙමින් අධිකරණය මෙන්ම අගතියට පත් පාර්ශ්වයද රවටා ඇති බැවින් ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දිලීප පීරිස් මහතා ඊයේ (05දා) කොළඹ අංක 05 මහාධිකරණ විනිසුරුවරයාගෙන් ඉල්ලා සිටියේය.
ස්ථීර නිවසක් අහිමි පුද්ගලයන්ට සුව සිහින මවාපා රවටා ලබාගත් එම මුදලින් එම විත්තිකරුවන් සුරසැප විඳින බවත් එලෙස වංචා කළ මුදලින් සෑම නිවාස ග ැනුම්කරුවකුටම ගෙවිය යුතු මුදලින් භාගයක් හෝ ගෙවනා තුරු එම විත්තිකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම නඩුව කැඳවූ මුල් අවස්ථාවේදීම කොටස් වශයෙන් යළි මුදල් ගෙවීමට විත්තිකරුවන් එකඟ වුවත් අධිකරණය හමුවේදී ලබා දුන් එම පොරොන්දුව කඩකර ඇතැයි ද අධිකරණයට වැඩිදුරටත් පැවසූ අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා නඩු විභාගය කඩිනමින් ආරම්භ කරනා ලෙසත් අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කර තිබූ වංචාවට හසු වූ පුද්ගලයෝ සියලු දෙනාම පාහේ ඊයේ (05දා) අධිකරණය හමුවේ පෙනී සිටියහ.
එම නඩුවේ සාක්ෂි විභාගය ලබන මාර්තු 6 වැනිදා ආරම්භ කිරීමට දින නියම කළ විනිසුරුවරයා එදිනට පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබාදීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට පැමිණිල්ලේ සාක්ෂිකරුවන් කීපදෙනෙකුට අවවාද කළේය. ප්රදේශවාසීන් පිරිසක් මෙන්ම රට පිළිගත් වෘත්තීන්වල නියැළී සිටින පුද්ගලයන් හා ඔවුන්ගේ පවුල්වල ඥාතීන් විශාල පිරිසක් ද මෙම වංචාවට හසුව සිටිති.
(ඒ.ජේ.ඒ. අබේනායක)
0 Comments