මාංචු කුට්ටමක යතුරක් සමඟ නව මැගසින් බන්ධනාගාරයට පැමිණ සිටියදී ඉකුත් 12 වැනිදා අත්අඩංගුවට ගත් තැනැත්තා සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ මිදිගම රුවන් නමැත්තාට යතුර භාරදීම සඳහා පැමිණ තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.බන්ධනාගාර හදිසි ප්‍රතිචාර උපක්රමික බළකා නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගෙන ඇත.
මිදිගම රුවන් නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින විශේෂ ගණයේ අපරාධකරුවකු වන අතර ඔහු බැලීම සඳහා තරුණ ජෝඩුවක් ඉකුත්දා පස්වරුවේ බන්ධනාගාරයට පැමිණ තිබිණි.ඒ යුවළ අතර සිටි පිරිමි පුද්ගලයා ගැන උපක්රමික බළකායේ නිලධාරීන් කළ සැකයකදී ඔහු සෝදිසියට ලක් කිරීමේදී මුදල් පසුම්බිය තුළ තිබී මෙම යතුර සොයාගෙන තිබේ. සැකකරු සන්තකයේ යතුරක් තිබීම ගැන නිලධාරීන් ඔහුගෙන් විමසා ඇතත් ඔහු ඒ ගැන කිසිවක් පවසා නැති අතර පසුව ඔහු බොරැල්ල පොලිසිය වෙත භාරදී තිබේ.
කලක් පොලිස් සේවයේ නිරත සැකකරු ඉන් අනතුරුව බොරැල්ල පොලිසිය මඟින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබේ.
සංවිධානාත්මක අපරාධකරුවකු වූ හරක් කටාගේ සමීපතමයකු වන මිදිගම රුවන් ඩුබායි රාජ්‍යයේ රැඳී සිටියදී අත්අඩංගුවට පත්ව මෙරටට ගෙන එනු ලැබූ පුද්ගලයෙකි. බොරැල්ල පොලිසිය සහ මැගසින් බන්ධනාගාරය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අරඹා තිබේ.
(කීර්ති මෙන්ඩිස්)
0 Comments