මිහින්තලා රජමහ විහාරය සම්බන්ධයෙන් සහ එහි විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සම්බන්ධයෙන් කිසිදු අපහාසාත්මක හෝ වෙනත් යම් යම් ප්‍රකාශ සමාජ මාධ්‍යයට හෝ වෙනත් මාධ්‍යයන් වෙත මුදාහැරීමෙන් වැළකී සිටින ලෙසට අධිකරණය පනවා තිබූ නියෝගයක් කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින “මිහින්තලාවට හඬක්” නමැති යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.
මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ මිහින්තලේ නුවර පාර පදිංචි “මිහින්තලාවට හඬක්” නමින් හැඳින්වෙන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන ඊ. එම්. අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැත්තකුටය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්රාත්වය තවදුරටත් නියෝග කරනු ලැබුවාය.
මෙසේ නියෝග කළේ, මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපති හිමියන්ට "මිහින්තලාවට හඬක්” නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා අපහාස කර ඇති බව කියන සිද්ධියට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය.
මෙහිදී පැමිණිලිකාර මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසුවේ, මිහින්තලා පුදබිමට හෝ එහි විහාරාධිපති වහන්සේට අපහාස වන ආකාරයේ වෙනත් කිසිදු ප්‍රකාශයක් සමාජ මාධ්‍යයට මුදානොහරින ලෙසට නියම කරමින් අධිකරණය මඟින් අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැති විත්තිකරුට එරෙහිව දැඩි ඇප කොන්දේසියක් අධිකරණය මඟින් පනවා ඇති බවයි.
එසේ එකී අධිකරණ නියෝග කඩ කරමින් විත්තිකරු තවදුරටත් මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපතීන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන “මිහින්තලාවට හඬක්” යන යූටියුබ් නාළිකාව ඔස්සේ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.මේ තුළින් විත්තිකරු අධිකරණ නියෝග කඩ කරමින් බරපතළ ලෙස අධිකරණයට අපහාස කර ඇති බවද අධිකරණයට පවසා සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නියෝග කරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ක්‍රියාකරන ලෙසත් අයද සිටියේය.
ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වී සිටින “මිහින්තලාවට හඬක්” යන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට ජනවාරි මස 10 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙස නියෝග කළාය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කෙරිණි.මිහින්තලාවට හඬක් නම් වූ යූටියුබ් නාළිකාවෙන් මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපතීන් වහන්සේට අපහාස කළ බවට චෝදනා ලබා සිටින අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැත්තා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.පසුව අධිකරණය මඟින් ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරිණි.මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ.
0 Comments