ඉන්දුනීසියාවේ බාලි දූපතේ ප්‍රසිද්ධ සංචාරක ආකර්ෂණයක් වන උබුඩ් වානර වනාන්තරයේ (Ubud Monkey Forest) සිදුවූ ගස් කඩා වැටීමක් හේතුවෙන් විදේශීය සංචාරිකාවන් දෙදෙනෙකු මරණයට පත්ව තවත් එක් අයෙකු තුවාල ලබා ඇත.



ඊයේ (10) දහවල් 12.25ට පමණ සිදුවූ මෙම අනතුර වනාන්තරයේ ප්‍රජාපති දේවාලයේ දකුණු පැත්තේ පිහිටි ගස් තුනක් කඩා වැටීමෙන් සිදුව ඇත. දැඩි සුළං තත්ත්වයන් හා වර්ෂාව හේතුවෙන් පාංශු ස්ථරය දුර්වල වීම මෙම ගස් කඩා වැටීමට හේතු වී ඇති බව පොලිසිය පවසයි.

උබුඩ් පොලිස් ස්ථානාධිපති පොලිස් කොමසාරිස් නියොමන් සුදර්ශන මහතා පැවසූ පරිදි අනතුරින් මියගිය සංචාරිකාවන් වන්නේ ප්‍රංශ ජාතික වයස අවුරුදු 32ක් වූ ෆනී ජස්ටින් ක්‍රිස්ටින් සහ දකුණු කොරියානු ජාතික වයස අවුරුදු 42ක් වූ කිම් හියෝන් යන අය වේ.

තුවාල ලැබූ දකුණු කොරියානු ජාතික වයස අවුරුදු 43ක් වූ ලී සුන්නි නම් සංචාරිකාව උබුඩ් හි කෙනක් මෙඩිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.

Ubud Monkey Forest කළමනාකරු නියොමන් ලිලිර් මහතා පොලිසියට පවසා ඇත්තේ දැඩි සුළං සහිත වර්ෂාව පැවති අවස්ථාවේ වනාන්තරය පරීක්ෂා කරමින් සිටියදී ගස් කඩා වැටෙන හඬ ඇසුණු බවයි. ඔහු සිද්ධිය වූ ස්ථානයට ගිය විට නාගරුක් ගසක්, පුලේ ගසක් සහ ක්‍රෙසෙක් ගසක් කඩා වැටී තිබී ඇත. සිද්ධිය වූ අවස්ථාවේ එම ප්‍රදේශයේ විශාල සංචාරක පිරිසක් රැඳී සිට ඇත.

සිද්ධියෙන් පසු පොලිසිය විසින් වහාම අනතුර සිදුවූ ප්‍රදේශය වටකර සංචාරකයින් ඉවත් කිරීමේ කටයුතු සිදු කර ඇත.

හෙක්ටයාර 12.5ක භූමි ප්‍රදේශයක් පුරා විහිදී ඇති Ubud Monkey Forest ශාක විශේෂ 117ක් සහ දිගු වලිගා රීසස් වඳුරන් 1260කට වැඩි සංඛ්‍යාවක් සහිත ස්ථානයකි. 14 වන සියවස දක්වා ඈත අතීතයක සිට පූජනීය ස්ථානයක් ලෙස සැලකෙන මෙම වනාන්තරය බාලි දූපතේ ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් ලෙස සැලකේ.
CCTV දර්ශන පහතින්