2010 වසරේදී නීති විද්‍යාලයේ අවසන් වසරේ විභාගයට ලියන අවස්ථාවේ තනිවම විභාගය ලියූ බවට ඔප්පු කළහොත් තමා මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන බවත්, එසේ නොමැතිනම් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේදී අද (18දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ඊට තමා සූදානම් බවත්, ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කරන බවත් ඊට ප්‍රතිචාර දක්වමින් අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පැවසීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - ඊයේ දිනයේ මම පාර්ලිමේන්තුවේ නොසිටි අවස්ථාවේ එක්තරා අමාත්‍යවරයෙක් දරුණු චෝදනාවක් එල්ල කළා. ඒ චෝදනාවේ එක් කාරණයක් එල්ල වෙන්නේ නීති විද්‍යාලයට. තවත් කාරණයක් එල්ල වෙන්නේ මේ රටේ නීති පද්ධතියට. මොකද එහි සඳහන් කරනවා මරණ තර්ජන තිබුණු නිසා එක්තරා මහාචාර්යවරයෙක් රටින් පිටව ගියා කියලා.
අධිකරන ඇමතිවරයාත් ඉන්නවා.
දැන් ඔබතුමන්ලාගේ ආණ්ඩුව තිබෙන්නේ. එහෙම මරණ තර්ජන එල්ල කරලා කියලා එතුමන්ලා සඳහන් කරනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් කරන්න. තවත් පැත්තකින් විභාගය ලිවීම සම්බන්ධයෙන් පැමිණිල්ලක් තිබෙනවා නම් ඒ පිළිබඳව පරීක්ෂණයක් කරන්න. ඒ වගේම එහි සඳහන් කරනවා ඒ අදාළ ඇමතිවරයාව දැනුවත් කළාලු. දැනුවත් කළේ කවුද? කොතනද? කොහේදිද? කොහොමද කියන කාරණා පිළිබඳව මේ සභාවට සඳහන් කළෙත් නෑ. රටට සඳහන් කරලත් නෑ.
තවත් කාරණයක් සඳහන් කරනවා ලංකාවේ පිටව ගිහින් දේශපාලන සරණාගතභාවය ලබපු කෙනෙක් පැමිණිල්ලක් කරලා තියෙන කාරණය. දැන් ඔබතුමන්ලාගේ ආණ්ඩුව තියෙන්නේ. ඔහුට ආරාධනා කරන්න පුළුවන් එන්න කියලා. අධිකරණයට ගිහින් සාක්ෂි දෙන්න කියන්න පුළුවන්. කට උත්තරයක් සඳහන් කරන්න පුළුවන්.
අවශ්‍ය නම් ඔබතුමන්ලාට පාතාල නායකයෝ ගෙනියනවා වගේ එස්.ටී.එෆ්, හමුදාවේ ආරක්ෂාව දීලා හරි උසාවියට ගෙනියන්න පුළුවන්. ඔහු දේශපාලනික වශයෙන් සරණාගතභාවයකට පත්වෙලා තිබෙනවා නම්, ඔබතුමාලා තවමත් විශ්වාස කරනවා නම් තවමත් ඔහු දේශපාලන සරණාගතයෙක් බවට පත්වෙලා ඉන්න ඕනි කියලා ඒක ඔබතුමන්ලාගේ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත තමයි ඔහුට ඒ කාරණය සිද්ධ කරන්න වෙන්නේ.
පැහැදිලිව මම කථානායකතුමාගෙන් ඉල්ලන්නේ මේ කාරණය පිළිබඳව හැන්සාඩ් එකෙන් ඉවත් කරන්න කටයුතු කරන්න. අවබෝධයෙන් බොරු කීමේ සම්ප්රදාය සමහර දේශපාලන පක්ෂවලට තියෙනවා. එහෙම තියෙද්දි යම්කිසි පුද්ගලයෙක් කරන ප්‍රකාශයක් තවත් පුද්ගලයෙක්ගේ චරිත ඝාතනය කරන්න උත්සහ කරනවා.
යම්කිසි චෝදනාවක් තියෙනවා නම් පරීක්ෂණයක් කරන්න. මේ අපහාසය එල්ල වෙන්නේ නාමල් රාජපක්ෂට නෙවෙයි. ලංකාවේ නීති විද්‍යාලයට. නීති ක්ෂේත්රයට. නීති පද්ධතියට. එක කාලයක මේ පාර්ලිමේන්තුව 225ම හොරු කියලා සමාජගත කළා. දැන් පාර්ලිමේන්තුවේ 225ම අධ්‍යාපන සුදුසුකම් ඔප්පු කරන්න කියලා පාර්ලිමේන්තුවට එන්න ඕනි, සී.අයි.ඩී යන්න ඕනි. දැන් වෙන පැත්තකට 225 ගෙනියන්න සූදානම් වෙනවා. පාර්ලිමේන්තුවේ වරප්‍රසාද ගැන කතා කරනවා. ඒත් වරප්‍රසාද මුවා වෙලා අවබෝධයෙන් බොරු කියන එක ඉවත් කරන්න කතා කරන්න කවුරුත් නෑ.
අමාත්‍ය වසන්ත සමරසිංහ - මම තමයි ඒ පිළිබඳව කිව්වේ. නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා නීති විද්‍යාලයේ විභාගය ලියපු විදිය පිළිබඳ මට ලබා දුන් තොරතුරු මා ළඟ තියෙනවා. ලිඛිතව මම එවලා තියෙනවා. වීඩියෝ එවලා තියෙනවා. ඔහු ලංකාවට එන බවත් කියලා තියෙනවා පරීක්ෂණයට අදාළ පරීක්ෂණ ආරම්භ කරන්න.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා 2010 නීති විද්‍යාලයේ අවසාන වසරේ විභාගයට ලියන්න යද්දි නීති විද්‍යාලයේ විදුහල්පතිවරයා බුලත් අතක් දීලා පිළිගෙන තනි කාමරයක ඉඳන් විභාගය ලිව්වා කියලා රටම දන්නවා. ඔබතුමා නීති විද්‍යාලයේ පරිගණක කාමරයේ තනියම විභාගය ලිව්වා කියලා දන්නවා රටම. ඒ කාලයේම ඔබතුමත් එක්ක විභාගය ලිව්ව තුෂාර ජයරත්න මහත්මයා තමයි පැමිණිල්ල කරලා තියෙන්නේ. ඔහු මට ඊයෙත් කතා කළා මේ ගැන පාර්ලිමේන්තුවේදී කතා කළාට පස්සේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මම ඔබතුමාට වගකීමකින් කියනවා තනියම ඒ.සී.කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කරන්න. ඔප්පු කළොත් මම පාර්ලිමේන්තුවෙන් අයින් වෙනවා. නැත්තන් ඔබතුමා ඇමතිකමෙන් ඉවත් වෙන්න ඕනි.
අමාත්‍ය වසන්ත සමරසිංහ - හරි. 2010 මේ පිළිබඳව පරීක්ෂණය පවත්වනවා. මෙතුමා තනියම නෙවෙයි නම් මෙතුමාට විභාග ප්‍රශ්න පත්‍රය ලියපු කෙනත් ඉන්න ඇති සමහර විට.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමාට මම දැන් කිව්වා මම තනියෙන් කාමරයක විභාගය ලිව්වා කියලා ඔප්පු කළොත් මම අයින් වෙනවා. එහෙම නැතිනම් ඔබතුමා අයින් වෙන්න.
අමාත්‍ය වසන්ත සමරසිංහ - එතුමා අද කියනවා තනියම නෙවෙයි හිටියේ කියලා. එතුමා විභාගය ලියපු තැන හිටිය අනිත් එක්කෙනා කවුද කියලා කියන්න ඕනි පරීක්ෂණ කරද්දි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ - මෙතුමන්ලා ආවේ අලුත් සංස්කෘතියක් හදනවා කියලා. ඒත් තිබුණු සංස්කෘතියත් එහා යන පාටක් පේන්න තියෙන්නේ.
(දිනේෂ් සමරකෝන්)
0 Comments